වසර ගණනාවක සිට ඇතැම් ආයතන ගිණුම් හා වාර්ශික වාර්ථා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර නොමැති බවත්, ඒ අනුව ඊලග අයවැය ඉදිරිපත් කිරීමට පෙර එම ආයතන වල වාර්ථා පාර්ලිමේන්තුවට ලබා දෙන ලෙස නියෝගයක් ලබා දෙන ලෙස අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය.
පාර්ලිමේන්තුවේදී අද (20දා) ප්‍රකාශයක් කරමින් හෙතෙම මේ බව සඳහන් කළේය.
පසුගිය කාලය තුළ රජයේ මුදල් කාරක සභාවේ සභාපති ලෙස කටයුතු කරනු ලැබුවේ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරැන් බවත්, ඒ අනුව ඔවුන් මෙම වාර්ථා කැඳවීමට කටයුතු කිරීමට තිබූ බවත් එහිදී අදහස් පළ කරමින් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය.
අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන - දැනට වාර්ථා වී තිබෙන ආකාරයට රජයේ ගිණුම් කාරක සභාව වාර්ථාවේද අන්තර්ගතවී නොමැති වැදගත් කාරණාවක් කථානායකවරයාගේ සහ පාර්ලිමේන්තුවේ අවධානයට ගේන්න කැමතියි. වසර ගණනාවක් පසුගිය කාලයේ ගිණුම් හා වාර්ෂික වාර්ථාවන් අදාල ආයතන වාර්ථා කරලා නෑ. පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටවත් පියවර ගෙන නෑ. මුදල් බලය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව පාර්ලිමේන්තුවය තිබෙන බව දෙපාර්ෂවයම කියනවා. නමුත් දෙපාර්ශවයම ආණ්ඩු කරණ කාල වල මේ ආයතන රාශියක් තම යුතුකම් කොටස ඉටු කරලා නෑ. මම කථානායකතුමාගෙන් ඉල්ලා සිටිනවා වහාම මෙම ආයතන පිළිබඳ කැඳවීමක් කරන්න. මොකද අදාල අමාත්‍යාංශ වල ලේකම්වරැ තමයි ප්‍රධාන ගිණුම් නිලධාරීන් වෙන්නේ. ඊළග අයවැය ලේකනය ඉදිරිපත් කිරීමට පෙර මෙම සියලුම ආයතන වල ප්‍රධානීන් කැඳවා හෝ නිලධාරීන් අදාල කාර්ය සභාවට කැඳවා ක්‍රියා කරන ලෙස උපදෙසක් හෝ නියෝගයක් නිකුත් කරන්නේ නම් පාර්ලිමේන්තුවේ තිබෙන මේ බලයට යම්කිසි ගෞරවයක් ලැබෙයි.
විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල - මීට පෙර රාජ්‍ය ගිණුම් කාරක සභාවේ සභාපති ධුරය දැරැවේ ආණ්ඩුවේ මන්ත්‍රීවරයෙක්. මෙතුමා දැනගන්න ඕනී වාර්ථා ගෙන්න ගන්න.
අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන - මෙතුමා කතා කරන්නේ පරණ ඒවා ගැන. අපි දෙගොල්ලන්ම එකඟ කාරණාවක් මම කිව්වේ. ඒ නිසා සභාපති කවුරැ වුණත් කථානායකවරයාට බලය තියෙනවා නියෝගයක් ලබා දෙන්න.