ලෝක වෙළදපොලේ ගෑස් මිල ඉහළ ගොස් තිබෙන බැවින් ඉදිරියේදී මෙරට තුල අනිවාර්යෙන් ගෑස් මිල වැඩි වීමේ ප්‍රවණතාවයක් තිබෙන බව සමූපකාර සේවා, අලෙවි සංවර්ධන හා පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පැවසීය.
රටේ පවතින විදුලි අර්බුදය සහ බලශක්ති අර්බුදය පිළිබඳ අද (10දා) පාර්ලිමේන්තුවේ පැවති සභාව කල්තැබීමේ විවාදයට එක්වෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය.
මේ අතර ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් මෙරටට ආනයනය කරනු ලබන ගෑස්, ගෑස් සිලින්ඩර සම ගෑස් උපාංග සඳහා එස්.එල්.එස් ප්‍රමිති සහතිකය ලබා දීමට ඉදිරියේදී කටයුතු කරන බව සඳහන් කළ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා,
මේ වන විට අපේ රටේ ගෑස් සිලින්ඩර් සහ ගෑස් උපාංග සදහා වර්ථමානයට ගැලපෙන ආකාරයේ ප්රමිතීන් සකස් කරලා අද ප්‍රකාශයට පත් කරලා තිබෙනවා. ඒ අනුව ප්‍රමිති ආයතනය විසින් ආනයන අපනයන පාලක ප්‍රමිති ආයතනයට ලබා දීපු ඒ බලතල අනුව අද රටට ඇතුල්වෙන සියලුම ගෑස්, ගෑස් සිලින්ඩර් සහ උපාංග පරීක්ෂණයට ලක්කරලා තමයි රටට ඇතුලු කර ගන්නේ. ඒ අනුව දැන් පළවෙනි පියවර අවසානයි. එම නිසා විශේෂයේන් පසුගිය කාලය තුලදී ගෑස් ප්‍රශ්කයක් ඇති වුනා. ඒ ප්රශ්නය නිසා ජනතාවට ඉතාමත් අමාරැ තත්ත්වයන්ට මුහුණ පාන්න සිදුවුණා. අපි ඒ පිළිබඳ කණගාටුව ප්‍රකාශ කරනවා. අපි ඒ සමාගම් සමග ඒ අයට වන්දි ලබා දීම සඳහා වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරනවා. මේ වන විටත් යම්කිසි පිරිසකට ලිට්රෝ සමාගම වන්දි ලබා දීලා අවසන් වෙලා තිබෙනවා.
අපේ ඊලග පියවර තමයි එස්.එල්.එස් සහතිකය ඒ සෑම භාණ්යකම අනිවාර්ය කිරීම ආරම්භ කරනවා. මේ පිළිබඳ අපි සාකච්ඡා වට කිහිපයක් ආරම්භ කළා. මේ ගෑස් සිලින්ඩර් සහ උපාංග සියල්ලක්ම පිටරටින් ආනයනය කරන්නේ. අපිට තවත් පැති කිහිපයක් තිබෙනවා. දැන් මේ සලකුණු ඇතුලත් කිරීම නිසා වියදම වැඩි වීමක් සිදු වෙනවා. ඒ අනුව අපිට පාරිභෝගිකයාගේ ආරක්ෂාව බලන්න ඕනි වගේම මේ වෙලාවේ මිල පිළිබඳවත් අපිට බැලිය යුතුව තිබෙනවා. ඒ අනුව අපි ඒ ආනයන සමාගම් සමග මේ වන විට සාකච්ඡා මට්ටමින් තිබෙන්නේ. අද මේ ගෑස් හිඟය හුදෙක්ම අපේ රට ඇතුලේ ඇතිවෙලා තිබෙන පරිපාලනමය ප්‍රශ්නයක් නිසා පමණක් සිදු වූ දෙයක් නෙවෙයි.
අද ලෝකයේ දැවැන්ත යුද්ධයකට ප්‍රධාන රටවල් අවතීර්ණ වෙලා තිබෙනවා. අද මෙට්‍රික් ටොන් 300 ගාණකට තිබුණු ගෑස් 900 අභිබවා ගිහින් තිබෙනවා. දශක තුනකට පස්සේ ලෝකයේ වැඩිම ගෑස් මිල අද වාර්ථා වෙලා තිබෙනවා. අපේ රටේ ගෑස් හදන්නේ නැති නිසා අපි ආනයනය කරනවා. ඒ නිසා අනිවාර්යෙන්ම අපේ රට තුල ගෑස් මිල දැනට වැඩි වෙලා තිබෙනවා වගේම ඉදිරියේදීත් වැඩිවීමේ ප්‍රවණතාවයක් තිබෙනවා කියන එක ගැන සත්‍ය තත්ත්වය අපි රටට කියන්න ඕනි. යනුවෙන් සඳහන් කළේය.