ශ්‍රී ලංකාවේ ඉහළ වටිනාකමකින් යුතු භූ සම්පත් ඇති ස්ථාන හඳුනාගැනීමට ගවේෂණ කටයුතු කඩිනම් කිරීමට භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය හා ලංකා ඛනිජවැලි සමාගම ඒකාබද්ධ වැඩ පිළිවෙළක් .
ශ්‍රීලංකාවේ වටිනා භු සම්පත් ඇති ස්ථාන හඳුනා ගැනීම සඳහා දැනට සිදු කෙරෙන ගවේෂණ කටයුතු කඩිනම් කරන ලෙස පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා උපදෙස් දුන්නේය.
භු විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය සහ ශ්‍රී ලංකා ඛනිජවැලි සමාගමේ නිලධාරින් සමග පරිසර අමාත්‍යවරයා පැවැත් වූ සාකච්ඡාවක දී අමාත්‍යවරයා මෙම උපදෙස් ලබා දුන්නේය.
භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය මගින් ඇතැම් පුද්ගලයින් හා සමාගම්වලට ගවේෂණ බලපත් ලබා ගෙන ඇතත් එම ගවේෂණ කටයුතු විදිමත්ව හා කාර්යක්ෂමව සිදු නොකෙරෙන බව අමාත්‍යවරයා අවධාරණය කළේය.
"සමහර සමාගම් හා පුද්ගලයින් ගවේෂණ බලපත් ලබාගෙන වසර 10ක් පමණ ගත වී තිබෙනවා. නමුත් ඔවුන් විදිමත් හා කාර්යක්ෂම ලෙස ගවේෂණ කටයුතු සිදු කරන්නේ නැහැ. ඒ නිසා රටට ලබා ගත හැකි විදේශ විනිමය විශාල ප්‍රමාණයක් රටට අහිමි වෙනවා.
අපි දන්නවා පසුගිය දිනවල අපේ රටට ආපු ගෑස් නැවකින් ගෑස් මිල දී ගැනීම සඳහා ඩොලර් මිලියන 08ක් සොයා ගැනීමට රජයට අපහසු වුනා. නමුත් විශාල වටිනා භූ සම්පත් රැසක් තිබිය දී ඒවායින් නිසි ඵල ලබා ගන්නට භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයටත්, ලංකා ඛනිජවැලි සමාගමටත් හැකි වී නැහැ.
අඩුම තරමින් ඩොලර් මිලියන 08ක් 10ක් වැනි සුළු මුදල් ප්‍රමාණයක්වත් උපයා ගන්නට හැකියාවක් නැත්නම් එහි විශාල ගැටළුවක් තිබෙනවා."
මෙහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරන ලද්දේ භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයත්, ලංකා ඛනිජවැලි සමාගමත් ඒකාබද්ධව මෙම ගවේෂණ කටයුතු කාර්යක්ෂමව හා පුළුල් ලෙස සිදු කළ යුතු බවයි. වටිනා භූ සම්පත් ඇති ස්ථාන හඳුනාගෙන එම ස්ථාන සිතියම්ගත කරන ලෙසත් එවැනි ස්ථානවල පදිංචි කිරීම් හෝ වෙනත් ගොඩනැගිලි ඉදි කිරීම් නොකළ යුතු බවත් අමාත්‍යවරයා කීය.
"වටිනා භූ සම්පත් සහිත ස්ථාන විශාල ප්‍රමාණයක් තිබෙනවා. නමුත් ඒවායින් නිසි ප්‍රයෝජනයක් ගන්නට බැහැ. හේතුව නම් එම භූ සම්පත් පිළිබඳව සොයා බැලීමක් නොකර එම ස්ථානවල මහජනතාව පදිංචි කර ඇති නිසා. දැන් ඒ පදිංචි මිනිස්සු ඒ තැන්වලින් ඉවත් කරන්නත් බැහැ. ඒ වගේම ඒ ස්ථානවල මහපොළව අභ්‍යන්තරයේ ඇති වටිනා භූ සමිපත්වලින් කිසිදු ප්‍රයෝජනයක් ගන්නත් බැහැ.
එමෙන්ම සමහර තැන්වල විශාල ගොඩනැගිලි ඉදි කර තිබෙනවා. පරිසර ඇගයුම් වාර්තා දෙන විට මෙම පොළව අභ්‍යන්තරයේ ඇති වටිනා භූ සම්පත් පිළීබඳවත් අවධානය යොමු කරනවා නම් හොඳයි. අද අපේ රට මෙම අවිදිමත් ක්‍රියාමාර්ග නිසා නිධානයක් මත සිට ගෙන හිඟාකන රටක් බවට පත්ව තිබෙනවා."
එමනිසා භූ සම්පත් ගවේෂණ කටයුතු සිදු කිරීම කඩිනම් කරන ලෙසත්, එම කටයුතු අදාල ආයතන දෙක ඒකාබද්ධව සිදු කළ යුතු බවත් අමාත්‍යවරයා කීය. වටිනා භූ සම්පත් ඇති ස්ථාන හඳුනාගත් පසු එම ස්ථාන සිතියම් ගත කර වෙන් කර තබා ගන්නා ලෙසත්, එම ස්ථානවල කිසිදු පදිංචි කිරීමක් හෝ අනවසරයෙන් අත්පත්කර ගැනීම සඳහා ඉඩ නොතබන ලෙසත් අමාත්‍යවරයා උපදෙස් දුන්නේය.
මෙම අවස්ථාවට පරිසර අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ඇතුළු නිලධාරිහු පිරිසක් සහභාගි වූහ.