ගාලූ කොටුව ප්‍රවේශ මාර්ගයේ දොර පියන් ගලවා ඉවත් කෙරේ
ඓතිහාසික ගාල්ල කොටුවට ඇතුළුවීම සඳහා ඕලන්ද ජාතිකයන් විසින් ඉදිකරන ලද ප්‍රවේශ මාර්ගයේ සවිකර තිබූ පැරණි දොර පියන් ගලවා ඉවත්කිරීමට මධ්‍යම සංස්කෘතික අරමුදල පසුගිය දා කටයුතු කළේය. මධ්‍යම සංස්කෘතික අරමුදල පවසන්නේ මෙම දොර පියන් දෙක කඩා වැටීමට ආසන්න මට්ටමක තිබූ බැවින් එය ගලවා ඉවත් කළ බවයි.
බාලදක්ෂ මාවත ලෙස නම්කර ඇති පැරණි ප්‍රවේශ මාර්ගයේ පිහිටි මෙම දොර පියන් දෙක 17 වැනි සියවසේ දී ඉදිකරන්නට ඇතැයි විශ්වාස කෙරේ.
2007-2008 වර්ෂවල දී විශාල මුදලක් යොදවා මෙම දොර පියන් මුළුමනින් ම සංරක්ෂණයකර සවිකරණ ලදී. එලෙස සංරක්ෂණය කරන ලද මෙම දොර පියන් වසර 15ක් ගතවීමටත් පෙර අබලන් වීම, ගාල්ල කොටුව සම්බන්ධව උනන්දුවක් දක්වන බොහෝ දෙනාගේ විමතියට හේතුවී තිබේ.
යකඩ තහඩුවක් මැදිකර දැව ස්ථර දෙකක් යොදා ගනිමින් අර්ධ ඉලිප්සාකාර හැඩයට සාදා ඇති මෙම දොර පියන් වල ලම්බක උස මීටර 3.97කි. සමාන්තර පළල මීටර 2.59කි. දොර පියනක ඝනකම සෙන්ටිමීටර 18කි. ඉතා විශාල බරකින් යුතු මෙම දොර පියන් ස්ථාන තුනකින් යකඩ අල්ලු යොදා බිත්තියට සවිකර තිබිණි.
බුරුමයෙයන් ගෙන්වන ලදැයි විශ්වාස කරන රැංගුන් තේක්ක යොදා සාදා ඇති දොර පියන් දෙකෙන් එක් දොර පියනක එක් පැත්තකට දැව තීරු 42 බැගින් සවිකර තිබේ. මේවා ගැලවීයාම වැළැක්වීම සඳහා සෙන්ටිමීටර 8.2ක් උසැති හා සෙන්ටිමීටර 03ක් වට ප්‍රමාණයෙන් යුතු යකඩ මුරච්චි 678ක් යොදා ඇත. යොදා ඇති දැව සවිමත්ව රැඳවීම සඳහා පහළම දාරයට සමාන්තරව ද ඉහළින් වක්‍ර තුනක් ද සහිතව යකඩ පටි දෙක බැගින් දොර පියන් දෙකට හතරක් සවිකර තිබේ.
2007 වර්ෂයේ දී මධ්‍යම සංස්කෘතික අරමුදල මෙම දොර ප්‍රතිසංස්කරණය කිරීමට පෙර පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ද එය වරක් ප්‍රතිසංස්කරණය කර තිබිණි.
කෙසේවුවද ගලවා ඉවත් කළ දොර පියන් නැවත සංරක්ෂණය කර සවිකිරීම සඳහා මෙතෙක් ප්‍රතිපාදන වෙන් වී නැත. මධ්‍යම සංස්කෘතික අරමුදලේ ප්‍රකාශකයකු අප සමඟ කියා සිටියේ මෙය කලින් සැළසුම් කළ ක්‍රියාවක් නොවන බැවින් ඉදිරියේ දී ඒ සඳහා වැඩපිළිවෙලක් සකසා මුදල් ප්‍රතිපාදන වෙන්කරගැනීමට අවශ්‍ය බවයි.
ගාල්ල සිරංගිකා ලොකුකරවිට


popular news
-
Sumudu Friday, 18 March 2022 06:08 AM
Koi lokkage gedaratada meka yanne???
Reply : 0 1
Rocky Friday, 18 March 2022 09:51 AM
Guwanwiduli Kanthoruwe thibuna Piyano walata kelapu ayiyalata Me dorawal ussana eka simple wedak!!
Reply : 0 1
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

