ගාල්ල දිස්ත්‍රික්කයේ පළාත් පාලන ඉතිහාසයේ ප්‍රථම වතාවට ප්‍රාදේශීය සභා සභාපති ධූරයකට කාන්තාවක් පත්ව සිටින අතර ඇය බෝපෙ පෝද්දල ප්‍රාදේශීය සභාවට ජාතික ජනබලවේගයෙන් තේරීපත්ව සිටින අංකොක්කාවල ලියනගේ ජයමිණි මහත්මියයි. බෝපෙ පෝද්දල ප්‍රාදේශීය සභාවේ උප සභාපතිවරයා ලෙස ඉඳුනිල් වීරසිංහ මහතා පත්ව සිටියි.
අද (02) උදෑසන බෝපේ පෝද්දල ප්‍රාදේශීය සභාවේ දී නව සභාපතිනිය ඇතුළු මහජන නියෝජිතවරු දිවුරුම් දී සිය රාජකාරී ආරම්භ කළහ. මෙම අවස්ථාවට ගාල්ල දිස්ත්‍රික්කයේ ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නිශාන්ත සමරවීර මහතා, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සහ බෝපේ පෝද්දල ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයකු වන චානක මාදුගොඩ මහතා ඇතුළු දේශපාලනඥයින් ද බෝපෙ පෝද්දල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සහකාර ප්‍රාදේශීය ලේකම් කිත්මිණි සංදීපනී මහත්මිය ඇතුළු රාජ්‍ය නිලධාරීන් ද ප්‍රදේශයේ මහජනතාව ද සහභාගී වී සිටියහ.
ගාල්ල දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන දහයක සභාපතිවරු හා උප සභාපතිවරුන්ගේ ගැසට් පත්‍ර මගින් ප්‍රකාශයට පත්කර තිබිණි. එම පළාත් පාලන ආයතනවල ජාතික ජන බලවේගයට 50%කට වැඩි මහජන නියෝජිත සංඛ්‍යාවක් හිමිව තිබෙන අතර 50%ට වැඩි මහජන නියෝජිතයන් පිරිසක් තනි පක්ෂයකට හෝ දේශපාලන කණ්ඩායමකට හිමිව නැති ගාල්ල මහ නගර සභාව ඇතුළු අනෙකුත් පළාත් පාලන ආයතනවල සභාපතිධූර සහ උප සභාපතිධූර පළමු සභා රැස්වීමේ දී තෝරාගැනීමට නියමිතය.
ගාල්ල සිරංගිකා ලොකුකරවිට
