ගාල්ල නගරයේ ප්‍රධාන තැපැල් කාර්යාලය ඉදිරිපිට මියගොස් සිටිය දී කරාපිටිය ශික්ෂණ රෝහලේ මෘත ශරීරාගාරයට ගෙනආ පුද්ගලයා කොරෝනා ආසාදිතයෙකු බව අද (22) ලැබුණු පීසීආර් පරීක්ෂණයේ ප්‍රථිපල මගින් තහවුරු වී තිබේ.
මොහුගේ සිරුර එම ස්ථානයේ තිබී ඊයේ (21) සොයාගනු ලැබිණ.
මෙලෙස මියගොස් ඇත්තේ පානදුරේ පදිංචිව සිටිය දී නිවසින් අතුරුදන්ව සිටි පුද්ගලයකු බව මූලික පරීක්ෂණ වලදී හෙළිවී ඇතැයි පොලිසිය පවසයි. එම පුද්ගලයා ආගිය අතක් නැති බවට සති කිහිපයකට පෙර පානදුර පොලිසියට පැමිණිල්ලක් ද ලැබී තිබිණි.
මරණය සම්බන්ධ පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකළ අධිකරණ වෛද්‍ය නිලධාරී සමාධි දන්දෙණිආරච්චි මහත්මිය පවසන්නේ ඔහුගේ මරණය සිදුව ඇත්තේ කොරෝනා ආසාදනය සමඟ ඇති වූ හෘදයාබාධයකින් බවයි.
මෙම පුද්ගලයා නිවසින් පලාගොස් කවර ප්‍රදේශවල සංචාරය කර ඇත්ද යන්න හෝ කවර පුද්ගලයන් ඇසුරු කලේද යන්න සොයාගත නොහැකි විම බරපතල ගැටලුවක් බව සෞඛ්‍ය අංශ පවසයි.
සිරංගිකා ලොකුකරවිට