ගාල්ල දිස්ත්‍රික්කයේ රාජ්‍ය ආයතනවල ගැවසෙන සුනඛයින්ට කෑම දැමීම වහාම නතර කරන ලෙස දැනුම් දෙමින් දිස්ත්‍රික් ලේකම්වරයාගේ අත්සනින් යුතුව චක්‍රලේඛයක් නිකුත් කිරීමට ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය මෙහෙයුම් කමිටුවේ දී තීරණය කෙරිණි.
මෙම රැස්වීම පසුගිය බදාදා (18) ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේ දී නියෝජ්‍ය අමාත්‍ය නලීන් හේවගේ මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන වෛද්‍ය නිශාන්ත සමරවීර මහතා, නිශාන්ත සෙනෙවිරත්න මහතා සහ හසාරා ලියනගේ මහත්මිය, දිස්ත්‍රික් ලේකම් ඩබ්ලිව්.ඒ.ධර්මසිරි මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් පැවැත්විණි.
එහිදී, ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ විශේෂඥ ප්‍රජා වෛද්‍ය නිලධාරී අමිල චන්ද්‍රසිරි මහතා කියා සිටියේ රාජ්‍ය ආයතනවල බල්ලන් බහුලව ගැවසීම විශාල කරදරයක් බවයි. රෝහල්වල පවා බල්ලන් පදිංචි වී සිටින බවත් ඊට හේතුව රෝහල් සේවක සේවිකාවන් සතුන්ට කෑම දැමීම බවත් ඔහු පෙන්වා දුන්නේය.
මේ හේතුවෙන් රෝහලට පැමිණෙන රෝගීන් අනාරක්ෂිත වන අතර ම ජලභීතිකා රෝගය ද පැතිරීමේ අවදානමක් ඇති බව පෙන්වා දුන්නේය.
එහිදී වෛද්‍යවරයා මෙසේ ද කියා සිටියේය,
“ගාල්ල දිස්ත්‍රික්කයෙන් මාස දෙකකට කළින් එක් ජලභීතිකා මරණයක් වාර්තා වුණා. මේවා වළක්වාගත හැකි මරණ, පින් බලාපොරොත්තුවෙන් බල්ලන්ට කෑම දුන්නම බල්ලන්ට පෝෂණය වැඩිවෙලා ඔවුන්ගේ ගහනය වැඩි වෙනවා. සමහර අය ගෙදර බල්ලෝ හදන්නේ නෑ, ඒත් පාරෙ ඉන්න බල්ලන්ට කෑම දෙනවා. මේක විශාල ප්‍රහ්නයක් වෙලා”
ඒ අනුව, එම ගැටලුව මඟහරවා ගැනීමේ මූලික පියවරක් වශයෙන් රජයේ ආයතනවල බල්ලන්ට සහ බළලුන්ට ආහාර ලබාදීම සම්පූර්ණයෙන් ම තහනම් කරමින් දිසාපතිවරයාගේ අත්සනින් ගාල්ලේ සියලු රාජ්‍ය ආයතනවෙත චක්‍රලේඛයක් නිකුත් කළ යුතු බව ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය මෙහෙයුම් කමිටුවේ දී තීරණය කෙරිණි.
සිරංගිකා ලොකුකරවිට