ගවයින්ගේ සමෙහි මතුපිට ගැටති ඇතිවිමේ රෝගය (Lumpy Skin Disease) මේ දිනවල දිවයින පුරා පැතිර යන නිසා එම රෝගය පාලනය කිරිම සදහා මධ්‍යම පළාත් සත්ව නිෂ්පාදන සහ සෞඛ්‍ය දෙපාර්තුමේන්තුවේ පළාත් අධ්‍යක්ෂකවරයා විසින් 2023.05.31 දින නිකුත් කර ඇති අංක CPC/APH/4/4-A&PH චක්රලේඛණයට පටහැනිව නුවරඑලිය දිස්ත්‍රික්කයේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් කටයුතු කරන බව පශු වෛද්‍යවරුන් චෝදනා කර සිටියි.
මධ්‍යම පළාතේ හාරිස්පත්තුව , හතරලියද්ද , උඩුනුවර , පුජාපිටිය , දඹුල්ල , විල්ගමුව , නුවරඑලිය , රාගල යන පශු වෛද්‍ය කොට්ඨාශවල මෙම රෝගය සහිත සතුන් හදුනාගෙන ඇති නිසා එම රෝගය පාලනය කිරිමට පශු වෛද්‍ය කොට්ඨාශ තුලින් සත්ව ප්‍රවාහන බලපත් නිකුත් කිරිම තාවකාලිකව නතර කර තිබියදි නුවරඑලිය දිස්ත්‍රික්කය තුල පිහිටි ගව ඝාතකාගාර විවෘත කර ඇති බවත්, එයට සමගාමිව නුවරඑලිය දිස්ත්‍රික්කයේ සියළුම නගර වල පිහිටි ගව මස් වෙලදසැල්ද විවෘත කර ඇති බවයි පශු වෛද්‍යවරුන් කියා සිටින්නේ.
ගවයන් ප්‍රවාහනය බලපත්‍ර නිකුත් කර නොතිබියදි ගව මස් වෙලදසැල් හිමියන් ඉතා සුක්ෂම ලෙස ගව ඝාතකාගාර වෙත ගවයන් ප්‍රවාහනය කර ඝාතනය කර ගව මස් අලෙවි කිරිම සිදු කරගෙන බවයි පශු වෛද්‍යවරුන් කියා සිටියේ.
මෙම තත්ත්වය පාලනය කිරිමට නොහැකි වුවහොත් නුවරඑලිය දිස්ත්‍රික්කය පුරා ගවයන්ගේ සමෙහි ගැටති ඇතිවිමේ රෝගය පැතිර යාමේ අවධානමකට ලක් විය හැකි බවද පශු වෛද්‍යවරුන් වැඩිදුරටත් පැවසිය.