ගලෙන්බිදුණුවැව මහ වැව් සීඝ්රයෙන් පිරී යයි
ප්රදේශයට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය සහ නොකඩවා ඇද හැලෙන තද වර්ෂාව හේතුවෙන් ගලෙන්බිදුණුවැව කොට්ඨාසයේ වාරිමාර්ග දෙපාර්තමේන්තුව සහ ගොවිජන සේවා දෙපාර්තමේන්තුව යටතේ පවතින වැව් රැසක ජල මට්ටම මේ වන විට සීඝ්රයෙන් ඉහළ ගොස් ඇත. වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ පවතින ප්රධාන වැව් වන හුරුළුවැව, මානන්කට්ටිය, අලුත් දිවුල්වැව සහ කිවුලේකඩ යන වැව්වල ජල මට්ටම උපරිම ධාරිතාවට ආසන්න වී ඇති බව වාරිමාර්ග නිලධාරීහු පවසති.
අද (12) දින උදෑසන වන විට හුරුළුවැව ජලාශයේ උපරිම ජල මට්ටම වන අඩි 27.50 සීමාව ඉක්මවා ගොස් ජල මට්ටම අඩි 27.60 ක් ලෙස සටහන් විය. ඒ අනුව අක්කර අඩි 55,000 ක උපරිම ධාරිතාව ඉක්මවා යමින් මේ වන විට ජලාශයේ සමස්ත ජල ධාරිතාව අක්කර අඩි 55,500 ක් දක්වා ඉහළ ගොස් ඇත. මේ හේතුවෙන් හුරුළුවැව වාන් දොරටු අඟල් 3.6 ක් උසට විවෘත කර ඇති අතර, තත්පරයට ඝන අඩි 206.83 ක වාන් ජල කඳක් යාංඔය දෙසට මුදා හැරෙමින් පවතී. කෙසේ වෙතත් ජලාශයේ දකුණු ඉවුර සහ වම් ඉවුර ප්රධාන ඇළ මාර්ග මේ වන විට වසා දමා ඇත.
මානන්කට්ටිය වැවේ වත්මන් ජල මට්ටම අඩි 16 අඟල් 07 ක් දක්වා ඉහළ ගොස් ඇති අතර එහි පවතින ජල ධාරිතාව අක්කර අඩි 4,050.42 කි. එහි වාන් දොරටු 4 ක් අඟල් 03 බැගින් විවෘත කර ඇති බව වාර්තා වේ. මීට අමතරව අඩි 25 ක උපරිම මට්ටමකින් යුත් අලුත් දිවුල්වැව මේ වන විට අඩි 20 අඟල් 04 ක මට්ටමේ පවතින අතර කිවුලේකඩ වැවේ ජල මට්ටම අඩි 22.20 ක් ලෙස සටහන් වේ.
මේ අතර ගොවිජන සේවා දෙපාර්තමේන්තුව යටතේ පවතින ප්රදේශයේ කුඩා වැව් බොහොමයක් මේ වන විට පිටාර මට්ටමට පැමිණ ඇති අතර ඇතැම් වැව් පිටාර ගලමින් පවතින බවද වාර්තා වේ. පවතින වර්ෂාවත් සමඟ වැව් බැම්මවල් සහ වාන් දොරටු පිළිබඳව දැඩි අවධානයෙන් පසුවන ලෙස ප්රදේශයේ ගොවි සංවිධාන සහ වාරි නිලධාරීන් ජනතාවගෙන් ඉල්ලා සිටී. පවතින අයහපත් කාලගුණය සහ හුරුළුවැව වාන් ජලය මුදාහැරීම හේතුවෙන් යාංඔය පහත් බිම්වල වෙසෙන ජනතාවට විමසිලිමත් වන ලෙස ද දන්වා ඇත.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
