ගල් අඟුරුවලින් විදුලි ජනනයේ අඩුවක් තිබුණත් යන්ත්‍රවලට හානියක් නෑ
මෑත කාලීනව මෙරටට ආනයනය කරන ලද ගල් අඟුරු භාවිතයෙන් නොරොච්චෝලේ ලක්විජය බලාගාරයේ අදාළ යන්ත්‍රෝපකරණවලට කිසිඳු හානියක් සිදු වී නොමැති බව පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ සභාපති වෛද්‍ය නිශාන්ත සමරවීර මහතා පැවසීය. බලාගාරය නිසි පරිදි ක්‍රියාත්මක වන බවත්, විදුලිය ජනනය කිරීමේ යම් අඩුවක් පැවතුණද, එය මේ අවස්ථාවේ රටෙහි බලශක්ති අවශ්‍යතාවය අනුව ගැටළුවක් නොවන බවත් සඳහන් කළ ඒ් මහතා, ඉදිරියේදී අවශ්‍ය වන ගල් අඟුරු ප්‍රමාණය බලාගාරය සතුව ඇති නිසා මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදු වන තෙක් ප්‍රචාරවලට නොරැවටෙන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් සඳහන් කළේය.
ඒ මහතා මේ අදහස් පළ කළේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව නොරොච්චෝලේ ලක්විජය බලාගාරයේ ස්ථානීය පරීක්ෂාවකට එක් වූ අවස්ථාවේදීයි.
මෙම ස්ථානීය පරීක්ෂාවේදී ගල් අඟුරු ගොඩබෑමේ සිට ගල් අඟුරු මගින් විදුලිය ජනනය කරන තෙක් වන ක්‍රියාවලියට අදාළ සියලුම කටයුතු පරීක්ෂාවට ලක් කරන ලද අතර, ගල් අඟුරු ගොඩබෑම, ගබඩා කර තැබීම, අහඹු නියැදි සාම්පල ලබා ගැනීම, නියැදි පරීක්ෂණය හා ප්‍රධාන පාලක මැදිරියේ මෙහෙයුම් කටයුතු ආදී කාර්යයන් පිළිබඳව කාරක සභාව සිය අවධානය යොමු කළේය.
මෙරටට ආනයනය කරන ගල් අඟුරුවල තත්ත්වය පරීක්ෂා කිරීම (Coal quality testing) ප්‍රතීතනය (Accreditation) සහිත රට තුළම ස්ථාපිත ස්වාධීන පරීක්ෂණාගාරයක් මගින් සිදු කිරීම විදුලි ජනනය සඳහා ගල් අඟුරු ආනයනයේදී වැදගත් වන බව පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව සිය නිරීක්ෂණය මගින් අනාවරණය කළේය.
රටෙහි පවතින විදුලි අවශ්‍යතාවය සම්පූර්ණ කිරීම සඳහා කල්පිටිය අර්ධද්වීපයෙහි නාරක්කල්ලිය පිහිටි නොරෝච්චෝලේ ලක්විජය බලාගාරය ඉදිකර ඇති බවත්, ශ්‍රී ලංකාවේ විශාලම සහ එකම ගල් අඟුරු බලාගාරය ලෙස ජාතික විදුලි පද්ධතිය (national grid) සඳහා 900MW කට අධික දළ ධාරිතාවක (Gross capacity) විදුලිය මෙම බලාගාරය මගින් නිකුත් කරන බවත්, රටෙහි විද්‍යුත් ශක්ති අවශ්‍යතාවයෙන් 35% - 40% පමණ මෙම බලාගාරය විසින් නිපදවන බවත්, විදුලිබල මණ්ඩලයට අනුයුක්ත 845 දෙනෙකුගෙන් පමණ සමන්විත වන කාර්ය මණ්ඩලයකින් බලාගාරය සමන්විත වන බවත්, ලක්විජය බලාගාරයේ කළමනාකරු ඇතුළු නිලධාරීන් සමග පැවති සාකච්ඡාවේදී අනාවරණය විය.
ආනයනය කරන ගල් අඟුරුවල තත්ත්වය පරීක්ෂා කිරීමේ ක්‍රියාවලියේ ගැටලු සහගත අවස්ථා පැවතීම හේතුවෙන් එම ක්‍රියාවලිය වැඩි දියුණු කරගැනීම සුදුසු බව කමිටුවේ අදහස වූ අතර ප්‍රතීතනය (Accreditation) සහිත රට තුළම ඇති ස්වාධීන පරීක්ෂණාගාරයකින් මෙම පරීක්ෂණ කටයුතු කිරීමේ වැදගත්කම කමිටුව එහිදී පෙන්වා දුන්නේය.
මෙරටට ගල් අඟුරු ආනයනය කරන කාලය හා ගල් අඟුරු භාවිතයෙන් විදුලිය ජනනය කරන සමස්ත ක්‍රියාවලිය සම්බන්ධයෙන් කාරක සභාවට මතු වූ ගැටළු විමසීමේදී, මුහුද රළු නොවන මාස 06ක කාලයක් ඇතුළත ගල් අඟුරු ගොඩ බෑම සිදු කර සම්පූර්ණ වර්ෂය සඳහාම අවශ්‍ය ගල් අඟුරු බලාගාරය සතු අක්කර 47 ක පමණ වපසරයකින් යුත් අංගනයෙහි ගබඩා කිරීමට හැකි බවත්, නැව් මගින් ආනයනය කරන ගල් අඟුරු ජැටියට 4km දුරින් නවතා, බත්තල් (barge) මගින් අදාළ ගල් අඟුරු ගොඩබිමට ගෙනැවිත් වාහක පටියට යොමු කර එහිදී තත්ත්ව පරීක්ෂාවට අදාළ සාම්පල අහඹු ලෙස ලබා ගන්නා බවත්, අදාළ සාම්පල විද්‍යාගාර වෙත කුරියර් ආයතනයක් මගින් යොමු කරන බවත් නිරධාරීහු පැවසූහ.
මෙම පරීක්ෂණ සාම්පල ලබා ගැනීම හා ඒවා විද්‍යාගාර වෙත යොමු කිරීමට අදාළ සමස්ත ක්රියාවලියෙහි ගැටලු පවතින බැවින්, ඒ පිළිබඳව සාකච්ඡා කර සුදුසු තීන්දු ගෙන ඉදිරියේදී ගැටළු මතු නොවන ලෙස මෙම ක්‍රියාවලිය වැඩි දියුණු කරගැනීමටත්, ස්වාධීන, ප්‍රතීතනය වූ පරීක්ෂණාගාරයකින් (Independent Accredited Laboratory) මෙම ගල් අඟුරු පරීක්ෂා කිරීම සුදුසු බවත්, එම පහසුකම පවතින විද්‍යාගාර මෙම කටයුත්ත භාර ගත යුතු බවත්, බලාගාරය සතු විද්‍යාගාරය ලෝකයේ පිළිගත් ක්‍රමවේදයන්ට අනුව ක්‍රමාංකණය කර භාවිත කිරීම වැදගත් බවත් කාරක සභා සභාපතිවරයා අවධාරණය කළේය.
ආනයනය කළ ගල් අඟුරුවල තත්ත්වය අනුව ජනනය වන විදුලිය සම්බන්ධයෙන් සමාජය තුළ ඇති ගැටලුව පිළිබඳව අදහස් දැක්වූ කාරක සභාවේ සභාපතිවරයා ප්‍රකාශ කළේ, ආනයනය කළ ගල් අඟුරුවල තත්ත්වය ලක්විජය බලාගාරයේ ජනනය සඳහා සුදුසු පරාසයේ නොපවතින බැවින් නිෂ්පාදිත විදුලි ප්‍රමණයේ යම් අඩුවක් පවතින බවත්, මෙම තත්ත්වය අරමුණු සහගත ලෙස සිදු කරන ලද්දක්ද යන්න පරීක්ෂා කිරීම සඳහා මෙම ස්ථානීය පරීක්ෂාවේ නිරීක්ෂණ හා මේ සම්බන්ධයෙන් සකස් කරන විගණන වාර්තාවේ නිරීක්ෂණ පාදක කරගනිමින්, ගල් අඟුරු ආනයනය ආරම්භයේ සිට මේ දක්වා සම්පූර්ණ ක්‍රියාවලිය පිළිබඳව ඉදිරියේදී සාකච්ඡා කිරීමට අපේක්ෂා කරන බවත්ය.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
