කැකිරාව පොලිස් වසමේ සමගිගම ප්රදේශයේදී ගල් වළක දියනෑමට ගිය පුද්ගලයින් දෙදෙනෙකු දියේ ගිලී මියගොස් ඇති බවට කැකිරාව පොලිස් ස්ථානයට ලද පණිවිඩයක් මත විමර්ශන ආරම්භ කර ඇත.
කැකිරාව ප්රදේශයේ පාසලක ගොඩනැඟිල්ලක් ඉදිකිරීමේ කටයුත්තක් සඳහා පැමිණ සිටි හපුතලේ ප්රදේශයේ පස් දෙනෙකුගෙන් යුතු පිරිසක් ඔවුන් නවාතැන් ගෙන සිටි නවාතැන්පල ආසන්නයේ පිහිටි ගල් වළක දියනෑමට ගොස් සිට ඇති අතර, ඔවුන් අතරින් තිදෙනෙක් දිය නෑම අවසන් කර නවාතැන්පලට පැමිණ ඇත. අනෙක් දෙදෙනා තවදුරටත් දිය නාමින් සිට ඇති අතර ඔවුන් දෙදෙනා ප්රමාදවීම පිළිබඳ සොයා බැලීමේදී ඔවුන් දියේ ගිලී සිට ඇති බව අනාවරණය වී ඇත.
මරණකරුවන් අවුරුදු 39 හා 41 වයස්වල පසු වූ හපුතලේ ප්රදේශයේ පදිංචිකරුවන් වේ. මෘත ශරීර කැකිරාව රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර කැකිරාව පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.