ගම්පොල මහෙස්ත්‍රාත්වරියට අපහාසාත්මකව හා තර්ජනාත්මකව නිර්නාමික ලිපි ලැබෙන බවට ඇය විසින් ගම්පොල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාට පැමිණිලි කර තිබේ.
අධිකරණයෙහි විභාග වන නඩු සම්බන්ධයෙන් මහේස්ත්‍රාත්වරිය ගන්නා නිර්භය හා නිර්පාක්ෂික තීන්දු සමග මෙම තර්ජනාත්මක ලිපි ලැබීමේ වැඩිවීමත් සමග මහේස්ත්‍රාත් කාංචනා කොඩිතුවක්කු මහත්මිය විසින් මේ පිළිබඳව ගම්පොළ පොලිස් අධිකාරී කාර්යාලයෙහි මෙසේ පැමිණිලි සටහන් කොට ඇත.
ඒ අනුව කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ මෙහෙයවීම මත කොට්ඨාස විශේෂ අපරාධ විමර්ශන අංශයේ පොලිස් කණ්ඩායමක් විසින් සිද්ධිය පිළිබඳව විමර්ශනයක් අරඹා මේ සම්බන්ධයෙන් ගම්පොල උඩපළාත ප්‍රාදේශීය ලේකම් ආත්මා දිල්රුක්ෂි ජයරත්න ගෙන් කටඋත්තයක් සටහන් කර ගෙන ඇති අතර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පරිගණක යන්ත්‍ර පරික්ෂාවකට ලක් කළ බව පොලීසිය සඳහන් කරයි.
ඉකුත් සතියේ අධිකරණයේ නඩුවක් කැඳවා ඒ පිළිබඳව කරුණු පැහැදිලි කරමින් සිටියදී එම නඩුවෙහි පැමිණිලිකාර පාර්ශ්වය නියෝජනය කළ උඩපළාත ප්‍රාදේශීය ලේකම්වරියගේ උපදෙස් මත කාර්යාලයේ නිලධාරිනියන් දෙදෙනෙකු ගම්පොළ අධිකරණය වෙත පැමිණ සිටි අතර මහේස්ත්‍රාත්වරිය විවෘත අධිකරණයේ කරුණු පැහැදිලි කරමින් සිටියදී ඇගේ කතාවට දෙවරක් සමච්චල්වන ආකාරයෙන් සිනාසීම සම්බන්ධයෙන් එම නිලධාරිනියන්ට අවවාද කර තිබියදීත් නැවැත එලෙස සීනාසිම අධිකරණයට අපහාස කීරිමක් ලෙස සලකා අභියාචනාධිකරණයේ නඩු පැවැරිමට කටයුතු කර තිබේ.
එසේම මෙම කැඳවා තිබු නඩුව ජුනි මාසයට යෙදී තිබී ඇතත් ප්‍රාදේශීය ලේකම්වරිය විසින් මෝසමක් මගින් එය මැයි මාසයේ කැඳවා තිබූ බවද හෙළිවී ඇත.එදින කැඳවා තිබු මෙම නඩුව සම්බන්ධ කරගනිමින් මහෙස්ත්‍රාත්වරියට තර්ජනාත්මක ස්වරූපයෙන් කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය තත්වයට ගම්පොල අධිකරණය පත් කර නොගන්නා වැනි අපහාස වන ආකාරයට නිර්නාමික ලිපි ලැබීම පිළිබඳව විමර්ශනයක් කර අදාළ සිද්ධියට සම්බන්ධ වූවන් අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි ඇය විසින් පොලීසියට කරන ලද පැමිණිල්ලේ සඳහන්ය.
මේ සම්බන්ධයෙන් අප ගම්පොල පොලිස් අධිකාරී කාර්යාලයෙන් විමසු විට එහි නිලධාරියකු සඳහන් කෙළේ ලැබී ඇති පැමිණිල්ල අනුව පුළුල් විමර්ශනයක් පැති කීපයක් ඔස්සේ සිදු කරන බවත් මේ වන විටත් මේ සම්බන්ධයෙන් උඩපළාත ප්‍රාදේශිය ලේකම් ආත්මා දිල්රුක්ෂි ජයරත්න මහත්මියගෙන් කට උත්තරයක් සටහන් කර ගෙන ඇති බවත්ය."අපි මේ පරික්ෂණ පැති කීපයක් ඔස්සේ පවත්වනවා. ප්‍රාදේශීය ලේකම්වරිය ඉකුත් සතියේ මහනුවර දිසාපතිවරයා ගේ ප්‍රධානත්වයෙන් පැවැති රැස්වීමකදී ද ගම්පොල මහේස්ත්‍රාත්වරිය ගේ ක්‍රියා කලාපය විවේචනය කර ඇති බවටද තොරතුරු වාර්තා වී තිබෙනවා. එම විවේචන හා පෙත්සම් අතර සම්බන්ධයක් ඇත්ද යන්න ගැනත් පොලීසියේ අවධානය යොමුව තිබෙනවා යැයිද පොලිසීය සඳහන් කෙළේය.
ගම්පොල මහේස්ත්‍රාත් කාංචනා කොඩිතුවක්කු මහත්මිය නීතිය අකුරටම ක්‍රියාත්මක කරන විනිශ්චයකාරියක බව ජනතා ප්‍රසාදයට හා නිලධාරින් ගේ ගෞරවයට පත් අයෙකි.ඇය මහේස්ත්‍රාත්වරියක් ලෙස ලබා දෙන තීන්දු ඉහළ අධිකරණයකදී අභියෝගයට ලක්කළ හැකිව තිබියදී නිර්නාමිකව ඇයට අපහාස වන අයුරින් පෙත්සම් යොමු කීරිම පෞද්ගිලිකව ඇය අපහසුතාවට පත්කිරිමේ උත්සාහයක් බවද පොලීසිය පෙන්වා දෙයි.
මහේස්ත්‍රාත්වරිය සිදු කර ඇති පැමිණිල්ල සම්බන්ධයෙන් පුළුල් විමර්ශනනයක් සිදු කරන නිසා මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු අනාවරණය කිරිම පොලීසිය ප්‍රතික්ෂේප කළේය.
ගම්පොල සුරංග දිල්හාන්