ගම්පොල බැංකු කොල්ලයට සම්බන්ධ නවීන වෑන් රථය පේරාදෙණිය ගලහා මංසන්ධියේ රියැදුරා සමග දමා ගොස් තිබියදී පොලීසිය මගින් අද (25දා) දහවල් සොයාගෙන ඇත.
මේ සමග එහි රියැදුරා ගම්පොළ පොලීසිය මගින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ.
ආයුධ සන්නද්ධ සිව් දෙනකු පැමිණ අද (25දා) අලුයම එකට පමණ ගම්පොළ පිහිටි අදාළ පුද්ගලික බැංකුවේ ආරක්ෂකයා බැඳ දමා එහි මුදල් තැන්පත් යන්ත්රය වෑන් රථයේ දමා රැගෙන ගොස් තිබිණි.
මෙම වෑන් රථය හෙම්මාතගම අරණායක ප්රදේශයේ කුලියට වාහන සපයන ආයතනයක එකක් බව පොලීසිය සොයා ගෙන ඇති අතර එහි හිමිකරුද අද දහවල් වනවිට ගම්පොළ පොලීසියට කැඳවා තිබිණි.
හිමිකරුගේ ප්රකාශ අනුව මෙම වෑන් රථය අන්තර්ජාලය හරහා කුලී ගමනකට ඉල්ලා ඇති පිරිසක් එය පේරාදෙණිය ගලහා මංසන්ධියට ගෙන්වා ගෙන ඇත. අනතුරුව ඊයේ (24දා) රාත්රියේ එම රියැදුරා සමග ගලහ දෙල්තොට ප්රදේශයට එම වෑන් රථය රැගෙන ගොස් ඇති මොවුන් එම ප්රදේශයේ තවත් දෙදෙනෙකු නංවාගෙන ආපසු එන අතරතුර රියදුරුගේ දෑත් හා දෑස් ගැටගසා පාළු ස්ථානයක ගලක් උඩ රඳවා මොවුන්ගෙන් එක් අයකු සමග දමා ගොස් තිබේ.
ඉන්පසු ගම්පොළට පැමිණි මොවුන් මෙම බැංකු මංකොල්ලය සිදු කොට යළි දෙල්තොට ප්රදේශයට ගොස් රියැදුරා රැගෙන පැමිණ අලුයම පහට පමණ යළිත් ගලහා මංසන්ධියේ වෑන් රථය හා රියැදුරා අතහැර පලා ගොස් ඇති බව පැවසේ.
සිය දෑස් බැඳ තිබූ නිසා මංකොල්ලකරුවන් ගිය දිසාවක් නොදන්නා බව රියැදුරා පොලීසියට පවසා ඇත.
අනතුරුව වෑන් රථය තිබූ ස්ථානයට ගිය ගම්පොළ සොකෝ අංශය, මහනුවර ඇඟිලි සටහන් අංශය හා නිල සුනඛ අංශය කැඳවා පරීක්ෂණ පවත්වා වෑන් රථය ගම්පොළ පොලීසියට රැගෙන එන ලදී.
අදාළ රියැදුරාගේ පරස්පර ප්රකාශ නිසා ඔහු ද පොලීසිය මගින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ.
මංකොල්ලකරුවන් රැගෙන ගිය මුදල් සේප්පුවේ රුපියල් ලක්ෂ 80ක් පමණ තිබූ බව පොලිසිය වෙත ප්රකාශ වී ඇති අතර ඒ පිළිබඳ පරීක්ෂණ පැවැත්වේ.
ගම්පොළ මූලස්ථාන පොලීසියේ ස්ථානාධිපති ප්රධාන පොලිස් පරීක්ෂක ලක්සිරි ප්රනාන්දු, පොලිස් පරීක්ෂකවරුන් වන කුමාරසිංහ, ජයන්ත, ප්රියන්ත බණ්ඩාර, බණ්ඩාර හේරත්, උපපොලිස් පරීක්ෂක තිස්ස බණ්ඩාර ඇතුළු නිලධාරීහු පිරිසක් සිද්ධිය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ සිදු කරති.
ගම්පොළ - සුරංග දිල්හාන්
