ගම්පහ දිස්ත්‍රික් මහ රෝහල් ගොඩනැගිල්ලෙහි සිදු කෙරෙමින් පවතින අලුත්වැඩියාවක් හේතුවෙන් වසරකට අධික කාලයක් මහල් තුනක් වසා දමා තිබීම මත ප්‍රධාන ශල්‍යාගාර හයක් ඇතුලු අංශ කිහිපයක්ද වසා තැබීමෙන් රෝගීන්ට මෙන්ම රෝහල් කාර්ය මණ්ඩලයටද අපහසුතාවයක්ව පවතී.
මහල් අටකින් යුත් රෝහල් ගොඩනැගිල්ලෙහි වසර 20 ක පමණ කාලයක් පැවති මහල් අතර ජල කාන්දුවීම සකස් කිරීම, මධ්‍යම වායුසමීකරණ පද්ධතිය අලුතින් යෙදීම ඇතුලු අලුත්වැඩියා කටයුතු වෙනුවෙන් බස්නාහිර පළාත් ආණ්ඩුකාර රොෂාන් ගුණතිලක මහතාගේ මැදිහත්වීමෙන් රුපියල් මිලියන 310 ක පමණ ප්‍රතිපාදන ලබාදීම මත 2021 ජනවාරි මාසයේදී අලුත්වැඩියාවන් ආරම්භ කොට ඇති අතර එය 2021 දෙසැම්බර් මසදී අවසන් කිරීමට නියමිතව තිබී ඇත.
එම කාලය තුල කටයුතු අවසන් කිරීමට නොහැකිවීම මත 2022 පෙබරවාරි මාසය දක්වා දීර්ඝ කොට ඇති අතර එම කටයුතු තවත් මාස ගණනාවකට අවසන් කළ නොහැකි තත්ත්වයකින් පවතින බව රෝහල් සේවකයින් පෙන්වා දෙති.
රෝහල් ගොඩනැගිල්ලෙහි 5 , 6 සහ 7 යන මහල් තුන මේ වන විට වසා තැබීම හේතුවෙන් රෝහලෙහි ප්‍රධාන ශල්‍යාගාර හයක් , හෘද රෝග දැඩි සත්කාරක ඒකකය ඇතුලු වාට්ටු කිහිපයක් වසා දමා තිබීම මත අපහසුතා මධ්‍යයේ ප්‍රතිකාර කටයුතු සිදු කරගෙන යාමට සිදුව ඇති බව ඔව්හු පවසති.
විශාල රෝගීන් සංඛ්‍යාවකට ප්‍රතිකාර ලබාදීම සිදු කෙරෙන මෙම රෝහලෙහි ශල්‍යාගාර මෙලෙස වසා දැමීම හේතුවෙන් ශල්‍ය කටයුතු දිනෙන් දින කල් දමමින් හදිසි සැත්කම් වෙනත් රෝහල් කරා යැවෙන තත්ත්වයක් පවතින අතර සීමිත සැත්කම් ප්‍රමාණයක් පැරණි රෝහල් ගොඩනැගිල්ලෙහි ඇති කුඩා ශල්‍යාගාරයකදී සිදු කෙරෙන බවද දැනගන්නට ඇත.
ප්‍රධාන ශල්‍යාගාර වසා තැබීම මත හදිසි අනතුරු , කැඩුම් බිඳුම් ආදී සැත්කම් සියල්ල සදහා වෙනත් රෝහල්වලට යැවීමටත් , ඇසේ සුද ඉවත් කරමින් අක්ෂිකාච යෙදීමට අවස්ථාව සමූපකාර රෝහලේ ලබාදී තිබීම මත සුළු පිරිකට පමණක් කිරීමට සිදුව තිබීම නිසාවෙන් අක්ෂි රෝගී පොරොත්තු ලේඛනය 2000 ඉක්මවා ඇති බවක්ද දැනගන්නට ලැබිණි.
රෝහලෙහි සිදු කෙරෙන අලුත්වැඩියා කටයුතු මෙලෙස පමාවීමට ප්‍රධානතම හේතුවක් ලෙස නම සදහන් නොකරන ලෙස ඉල්ලා සිටි රෝහල් කාර්ය මණ්ඩලයෙහි අයෙකු කියා සිටියේ, පැවති කොරෝනා වසංගතය නිසාවෙන් කටයුතු පමාවූ බවක් කොන්ත්‍රාත්කරුවන් ප්‍රකාශ කළද මෙහි කටයුතු සදහා අවශ්‍ය තරම් සේවකයින් යෙදවීමට පියවර ගෙන නොමැති බවය.
රෝහලෙහි අලුත්වැඩියා කටයුතු මෙලෙස පමාවීමෙන් පත්ව සම්බන්ධයෙන් බස්නාහිර පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂිකා වෛද්‍ය ධම්මිකා ජයලත් මහත්මියගෙන් දුරකථනයෙන් කළ විමසිමේදී සදහන් කර සිටියේ මේ සම්බන්ධයෙන් ව්‍යාපෘතිය බාර ප්‍රාදේශීය ඉංජිනේරුවරියගෙන් දැනගත යුතුව ඇති බවයි.
ගම්පහ තිලකරත්න දිසානායක


