ගම්පහ නගරයේ සියලුම උපකාරක පන්ති පවත්වාගෙන යනු ලබන ස්ථානයන්හි පවතින තත්ත්වය පරීක්ෂා කිරීමට පොලීසිය සහ ගම්පහ මහ නගර සභාව පියවර ගෙන ඇත.
ගම්පහ, සිරිකුරුස මාර්ගය අසළ මහල් ගොඩනැගිල්ලක පවත්වාගෙන යනු ලබන උපකාරක පන්තියක ගැහැණු වැසිකිළියක් තුළ කැමරාවක් තිබීමේ සිද්ධිය පාදක කර ගනිමින් ගම්පහ පුරපති එරංග සේනානායක සහ ගම්පහ කොට්ඨාසය භාර ජේෂ්ඨ පොලිස් අධිකාරී ඉන්දික ද සිල්වා යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි මෙම පියවර ගෙන තිබේ.
මේ සම්බන්ධයෙන් පුරපතිවරයා සදහන් කර සිටියේ අධ්‍යාපනික නගරයක් වන ගම්පහ නගරයේ උපකාරක පන්තියක් පවත්වාගෙන යනු ලබන ස්ථානයක මෙවන් සිද්ධියක් සිදුව තිබීම අප්‍රසන්න තත්ත්වයක් බවත් දැඩි විශ්වාසයකින් යුතුව මව්පියවරුන් විසින් දරුවන් උපකාරක පන්තිවලට සහභාගිකරවන බැවින් එම විශ්වාසය මෙන්ම ආරක්ෂාව සුරක්ෂිත වන අන්දමින් පවත්වාගෙන යුතු බවත්ය.
ගම්පහ නගරයේ පවත්වාගෙන යනු ලබන උපකාරක පන්ති සදහා දහස් ගණනක සිසු දරුවන් පිරිසක් සහභාගිවන බැවින් ඉදිරියේදී නගර සභා බල ප්‍රදේශය තුළ පවත්වාගෙන යන පෞද්ගලික අධ්‍යාපන ආයතනයන් සදහා වාර්ෂික බලපත් ලබාදීමේදී සිසු දරුවන්, ආචාර්යවරුන් සහ පන්ති හිමිකරු වන්ට වියහැකි අපහසුතාවයන්ගෙන් මුදා ගැනීම පිනිස පන්ති පැවැත්වෙන ස්ථානයන්හි ආරක්ෂාව, සනීපාරක්ෂක පහසුකම්, සෞඛ්යාරක්ෂිත තත්ත්වයන් සම්බන්ධයෙන් දැඩිව පරීක්ෂාවට භාජනය කරන ලෙසට නගර සභාවේ අදාල නිලධාරීන්ට දැනුම් දුන් බවද එරංග සේනානායක මහතා පැවසීය.
මේ අතර ජේෂ්ඨ පොලිස් අධිකාරී ඉන්දික සිල්වා මහතා ප්‍රකාශ කොට සිටියේ, උපකාරක පන්ති සඳහා පැමිණෙන සිසු දරුවන්ට , එම ස්ථානයන් දැඩි සුරක්ෂිත ස්ථානයන් වශයෙන් පවත්වාගෙන යාම එම ස්ථාන පවත්වාගෙන යන තැනැත්තන්ගේ වගකීමක් වන බවත් නිසියාකාරයෙන් පන්ති පවත්වාගෙන යාම පිණිස නගර සභාව මගින් සිදු කරනු ලබන කටයුතු සදහා පොලීසිය අවශ්‍ය සහාය ලබා දීම සිදු කරන බවත්ය.
ගම්පහ නගර සීමාව තුල දැනට උපකාරක පන්ති විශාල සංඛ්‍යාවක් පවත්වා ගෙන යනු ලබන අතර මේ සියල්ල නගර සභාව මගින් වාර්ෂිකව බලපත් ලබාගත යුතුව ඇත.
සිදුකළ පන්ති පරීක්ෂාවේදී ස්ථාන ගණනාවක පැවති අඩුපාඩු සකස්කර ගැනීමට උපදෙස් දීම සිදු කළ අතර ඇතැම් පන්ති අසල තිබූ ආරක්ෂක කැමරා ඉවත් කිරීමට උපදෙස් ලබාදීමත් සිදු කෙරිණි. පන්ති කිහිපයක් නීති රීතීන්ට අනුව සනීපාරක්ෂක පහසුකම් සහිතව නිසියාකාරයෙන් පවත්වාගෙන යන අන්දම නිරීක්ෂණයවූ බව පැවසූ නාගරික පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක නන්දන පතිරගේ මහතා, ඉදිරියේදී සියලුම පන්ති හිමිකරුවන් කැදවා දැනුවත් කිරීමට නාගරික වෛද්‍ය නිලධාරීවරයා විසින් දැනුම් දුන් බවද පැවසීය.
