ශ්රී ලංකා නාවික හමුදාව සහ ශ්රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව එක්ව යාපනය ඩෙල්ෆ්ට් දූපතට ගිණිකොන දෙසින් වූ මුහුදු ප්රදේශයේ අද (09දා) අළුයම් කාලයේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී කේරළ ගංජා කිලෝග්රෑම් 458 කට අධික තොගයක් රැගත් ඩිංගී යාත්රාවක් ශ්රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි.
උතුරු නාවික විධානයට අයත් සීජී 402 දරණ වෙරළාරක්ෂක යාත්රාව යොදවා යාපනය ඩෙල්ෆ්ට් දූපතට ගිණිකොන දෙසින් වූ මුහුදු ප්රදේශයේ සිදු කළ මෙම විශේෂ සෝදිසී මෙහෙයුමේදී සැකකටයුතු ඩිංගී යාත්රාවක් නිරීක්ෂණය කර පරීක්ෂාවට ලක් කරන ලදී. එහිදී, පාර්සල් 18 ක අසුරන ලද කේරළ ගංජා කිලෝ 458 ග්රෑම් 900 ක පමණ තොගයක් (තෙත බර සහිත) සමඟ සැකකරුවන් දෙදෙනෙකු සහ එම ඩිංගි යාත්රාව මෙලෙස ශ්රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි.
අත්අඩංගුවට ගත් කේරළ ගංජා තොගයේ දළ වීථි වටිනාකම රුපියල් මිලියන 137 කට අධික වෙතැයි විශ්වාස කෙරේ.
කේරළ ගංජා සමඟ අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා අවුරුදු 37 සහ 44 යන වයසේ පසුවන මණ්ඩතිව් සහ නච්චිකුඩා යන ප්රදේශයන්හි පදිංචිකරුවන් බවට හඳුනාගත් අතර, එම සැකකරුවන්, කේරල ගංජා තොගය සහ ඩිංගි යාත්රාව ඉදිරි නීතිමය කටයුතු සඳහා ඩෙල්ෆ්ට් පොලිසිය වෙත භාරදීමට නියමිතව ඇත.
