විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යූහගත කිරීමට අදාල පනත් කෙටුම්පත නීති සම්පාදකට යොමු කර තිබෙන බවත්, ඒ අනුව ඊට අදාළ ක්‍රියාමාර්ග ගත් පසු අධිකරණ ක්‍රියාමාර්ග නොමැති නම් සති 06ක් තුළ නව පනත් කෙටුම්පත සම්මත කිරීමට බලාපොරොත්තු වන බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය.
“ස්ථාවර රටකට සැවොම එක මඟකට” මැයෙන් අද (04දා) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ සංවිධානය කර තිබූ මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා.
මේ අතර ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව මූල්‍යමය මට්ටමින් ශක්තිමත් ආයතනයක් බවට පත්ව තිබෙන බවත්, ලංකා බැංකුවට සහ මහජන බැංකුවට ගෙවීමට තිබූ රුපියල් බිලියන 200ට වැඩි ණය මුදලද ගෙවා අවසන් කළ බවත් අමාත්‍යවරයා පැවසීය.
"ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව බැංකු වලට තිබුණා රුපියල් බිලියන 200ට වැඩි ණය ප්‍රමාණයක්. නමුත් මේ අවුරුද්දේ අප්‍රේල් මාසයට වන විට බැංකු දෙකට ගෙවිය යුතු සියලුම ණය මුදල් ගෙවලා අවසන් කරලා තියෙනවා.
ඒ නිසා ලංකා ඛණිජතෙල් නීතිගත සංස්ථාව මේ වන විට මූල්‍යමය මට්ටමින් ශක්තිමත් ආයතනයක් බවට පත්වෙලා තිබෙනවා. ඒ කෙසේ වුවත් ප්‍රතිව්‍යුහගත කිරීම අත්‍යාවශ්‍ය කාරණයක් බවට හඳුනාගෙන තිබෙනවා. ඒ අනුව පැවැත්විය යුතු සේවකයන් ප්‍රමාණය, නිලධාරීන් ප්‍රමාණය, කළ යුතු සේවාවන් අඛණ්ඩව ප්‍රතිව්‍යූහගත කිරීමේ ක්‍රියාවලිය සිදු වෙනවා.
විශේෂයෙන්ම විදුලිබල මණ්ඩලයේත් ප්‍රතිව්‍යූහගත කිරීමේ ක්‍රියාවලියට මේ වන විට ප්‍රවේශයක් ලබාගෙන තිබෙනවා. මේ වන විට නීති සම්පාදකට අපි ලබා දීලා තියෙනවා නව කෙටුම්පත. නීති සම්පාදකගෙන් ඒ කෙටුම්පතට අවශ්‍ය තොරතුරු ලැබුණු පසු ඒක නීතිපතිවරයාටත්, ඉන් පසුව නීතිපතිවරයාගේ අනුමැතිය ලැබුණු පසු කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනවා.
කැබිනට් මණ්ඩලයෙන් අනුමැතිය ලැබුණු පසු පාර්ලිමේන්තුවටත් ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. මම විශ්වාස කරනවා තව සති 06 පමණ කාලයක් තුළ අධිකරණමය කටයුතු නැතිනම් අපිට මේ නව පනත සම්මත කර ගැනීම සඳහා අවශ්‍ය වටපිටාව නිර්මාණය වෙයි කියලා.
විශේෂයෙන්ම කියන්න ඕනී ඊයේ දවසේදී අපි රාජගිරියේ එක් ඉන්ධන පිරවුම්හලක් අත්හිටුවීමට ලක් කළා. ඒක අපි ලංකා ඛණිජතෙල් නීතිගත සංස්ථාව යටතට පවරා ගනු ලැබුවා තාවකාලිකව. මොකද අපිට දීර්ඝ වශයෙන් පැමිණිලි ලැබුණා පසුගිය මාසයේත් මිල සංශෝධනය කරන අවස්ථා වල ඉන්ධන ගබඩා පහසුකම් තිබුණත් තොග පවත්වාගෙන නොගිය ඉන්ධන පිරවුම්හල් පිළිබඳ තොරතුරු වාර්තා වුණා. ඒ අනුව ඉන්ධන පිරවුම්හල් 120ට පමණ අපි ලිඛිතව දැනුවත් කරලා තියෙනවා ඉන්ධන තොග පවත්වාගෙන නොයෑමට හේතු දක්වන්න කාලයක් ලබා දීලා තියෙනවා. ඒ වගේම ඉන්ධන තොග පිළිබඳව කළබල විය යුතු නැහැ."