නවීන තාක්ෂණය ඔස්සේ කාර්යක්ෂම සේවාවක් සපයමින් ශ්‍රී ලංකා වරාය පිළිබඳ ජාත්‍යන්තරයේ විශ්වාසය තහවුරු කරගත යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.
වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍යාංශයේ ප්‍රගති සමාලෝචනය පිළිබඳ කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේ දී අද (09දා) පෙරවරුවේ පැවති සාකච්ඡාවේ දී ජනාධිපතිවරයා මේ බව පැවසීය.
කොළඹ වරාය ලොව ප්රමුඛ පෙළේ සියලුම නැව් සමාගම් සමග මෙහෙයුම් කරයි. පාලන අධිකාරිය ඇතුළු සමස්ත කාර්ය මණ්ඩලය දැඩි වගකීමෙන් කටයුතු කිරීමෙන් එය ආරක්ෂා කරගත යුතු බව ජනාධිපතිවරයා කියා සිටියේය.
නීති උල්ලංඝණය කොට කෙරෙන ආනයන හේතුවෙන් වරායේ රඳවා ඇති භාණ්ඩ වෙන්දේසියේ දී අක්‍රමිකතා සිදුවන බව අනාවරණය වී ඇත. සතොස, ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාව වැනි රාජ්‍ය ආයතන මගින් එම භාණ්ඩ අලෙවියෙන් දූෂණ වැළැක්වීමටත් රජයට ආදායමක් උපයාගත හැකි බවත් ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.
වර්තමානයේ මුහුණ දෙන තත්ත්වයන් සැලකිල්ලට ගනිමින් ආනයනික අත්‍යාවශ්‍ය භාණ්ඩ ප්‍රමාදයකින් තොරව නිදහස් කිරීමට කටයුතු කළ යුතු බව ද ජනාධිපතිවරයා පැවසීය.
අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි අනුර දිසානායක, අමාත්‍යාංශ ලේකම් කේ.ඩී.එස්. රුවන්චන්ද්‍ර, වරාය අධිකාරියේ සභාපති ආචාර්ය ප්‍රසන්න ජයමාන්න, ගුවන් තොටුපොළ සහ ගුවන් සේවා සමාගමේ සභාපති මේජර් ජෙනරාල් (විශ්‍රාමික) ජී.ඒ. චන්ද්‍රසිරි යන මහත්වරු සහ රේඛීය ආයතන නිලධාරීහු සාකච්ඡාවට සහභාගි වූහ..