රට ආර්ථික අර්බුදයකට මුහුණදී සිටියද ජනතාවට සුවපහසු නිවසක් ලබාදීම සහ හිමිකම් ඔප්පු ලබාදීමේ වැඩපිළිවෙල අඛණ්ඩව ඉදිරියටත් ක්‍රියාත්මක කරන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශයේ ලේකම් ප්‍රදීප් රත්නායක මහතා පැවසීය.
ඒ අනුව ඉදිරි වසර දෙක ඇතුලත නිවාස හිමිකම් ඔප්පු 30,000 ක් ලබාදීමේ වැඩසටහන නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ උපදෙස් මත දැනටමත් ආරම්භ කර ඇතැයිද හෙතෙම සඳහන් කළේය.
නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශයට අයත් ආයතනවල ප්‍රගතිය පිළිබඳව මාධ්‍ය ප්‍රධානීන් දැනුවත් කිරීමට බත්තරමුල්ල, සුහුරුපායේ පිහිටි අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී සූම් තාක්ෂණය ඔස්සේ අද (5) පැවැති ඇසිදිසි පෙරමඟ සාකච්ඡාවකට එක්වෙමින් ලේකම්වරයා මේ බව සඳහන් කළේය.
එහිදී නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශයේ ලේකම් ප්‍රදීප් රත්නායක මහතා මෙසේද පැවසීය.
“පසුගිය කාලේ රටේ තිබුණු ආර්ථික අර්බුද නිසා නිවාස ඉදිකිරීමේ කටයුතු යම් පසුබෑමකට ලක්වුණා. නමුත් මේ වනවිට පවතින ආර්ථික අර්බුදය ජයග්‍රහණය කරමින් නැවත රට තුළ සංවර්ධන සංග්‍රාමය ආරම්භ කිරීමට රජය සුදානම්. ඒ අනුව අපි නිවාස ව්‍යාපෘති යළි ආරම්භ කිරීමට කටයුතු කරමින් සිටිනවා.
කොළඹ නගරයේ නිවාස නොමැති ජනතාවගේ නිවාස ගැටළුව විසදිමට තට්ටු නිවාස ලක්ෂ දෙකක් පමණ ඉදිකළ යුතුයි. කුමන අර්බුද පැමිණියද එම ඉලක්කය ජයගැනීම සඳහා නිෂ්චිත වැඩපිළිවෙලක් අමාත්‍යංශය දැනටමත් ක්‍රියාත්මක කර තිබෙනවා.
එමෙන්ම මේ වනවිට මහා භාණ්ඩාගාරයේ මුදල් මත නාගරික සංවර්ධන ව්‍යාපෘති 260ක් පමණ ආරම්භ කර ඇති අතර නාගරික සංවර්ධන අධිකාරියේ මුදලින් තවත් ව්‍යාපෘති පහක් ආරම්භ කර ඇත.
එමෙන්ම නාගරික සංවර්ධන අධිකාරියට අයත් රජයට පවරා නොගත් ඉඩම්වල හා දැනට ව්‍යාපෘති ක්‍රියාත්මක කර නොමැති හිස් ඉඩම්වල වගා කටයුතු ආරම්භ කර ඇත. ඒ අනුව දැනටමත් පන්නිපිටිය, මාදිවෙල වැනි ප්‍රදේශවල හඳුනාගත් එවැනි ඉඩම්වල වගා කටයුතු ආරම්භ කර තිබේ.
නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශය සංවර්ධන බලපත්‍ර අනුමත කිරීම කඩිනම් කිරීම සඳහා (One-Stop Unit,OSU) නමින් සේවා ඒකකයක් හඳුන්වා දීමට නියමිතය. සංවර්ධන බලපත්‍ර අනුමත කරනු ලබන සියලුම ආයතන ඇතුළත් කරමින් මෙම සේවා ඒකකය පිහිටුවීමට නියමිතයි. එමඟින් සංවර්ධන බලපත්‍ර අනුමත කිරීමට ගතවන කාලය අවම කිරීම හා සරල කිරීමෙන් වැඩි ආයෝජන ආකර්ෂණයක් ලබාගත හැකිවේ යැයි අප බලාපොරොත්තු වෙනවා.
එමෙන්ම නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශය යටතේ ශ්‍රී ලංකා දූපත් සංවර්ධන අධිකාරිය නමින් නව ආයතනයක් පිහිටුවීමට ද තීරණය කර තිබෙනවා. එම අධිකාරිය පිහිටුවීමේ මූලික අරමුණ වන්නේ ශ්‍රී ලංකාව වටා පිහිටා ඇති දූපත් සංවර්ධනය කර සංචාරක ආකර්ෂණය වැඩිදියුණු කොට රටට ඩොලර් ගෙන්වා ගැනීමයි.
නාගරික සංවර්ධන හා නිවාස ආමත්‍යංශය යටතේ ඇති ආයතනවල සහයෝගය ලබාගනිමින් ජාතික භෞතික සංවර්ධන සැලැස්ම සකස්කර සියලුම ආයතනවලට ලබාදී තිබේ. එහිදී ලැබෙන අදහස් හා යෝජනා ලබාගනිමින් එම ජාතික භෞතික සැලැස්ම යාවත්කාලීන කර ජාතික භෞතික සංවර්ධන සැලැස්ම සකස් කිරීමට නියමිතය.
විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ට හා ශ්‍රමිකයන්ට ඩොලර්වලට නිවාස අලෙවි කිරීමේ වැඩපිළිවෙල යටතේ දැනටමත් ඩොලර් 40,000කට එක් නිවසක් අලෙවිකර තිබේ. විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ට අමතරව විදේශිකයන්ගෙන්ද නිවාස මිලදී ගැනීමට ඉල්ලීම් රැසක් ලැබී ඇත. ඒ අනුව මෙම වසර අවසන්වීමට පෙර ඩොලර්වලට නිවාස අලෙවි කිරීමේ අදාල ඉලක්කය ඉතා පහසුවෙන් ජයගත හැකිවේවි.
එමෙන්ම අඩු ආදායම්ලාභී නිවාස 25,000ක් සඳහා සූර්ය පැනල මගින් විදුලිය ලබාදීමේ ව්‍යාපෘතියක් ඇරඹීමට මේ වනවිට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. එමඟින් මෙගාවොට් 500 ක පුනර්ජනනීය බලශක්තියක් ජාතික විදුලිබල පද්ධතියට එකතු කිරීමට අපේක්ෂා කරනවා.”