කොළඹ මහ නගර සභා සීමාව තුළ තිබෙන කඩා වැටීමට ආසන්න හා අනාරක්ෂිත ලෙස පවතින ගස් පිළිබඳව සමීක්ෂණයක් සිදුකර නොමැති බව කොළඹ මහනගර සභාව සඳහන් කරයි.
එහෙත් මේ වසරේ ගෙවීගිය කාලය තුළදී අනාරක්ෂිත ගස් ලෙස හඳුනා ගත් ගස් 38 ක් කපා ඉවත් කර ගෙන තිබෙන බවත්, එම ගස්වල දැවමය වටිනාකමක් නොමැති බවත් පෙන්වා දෙයි.
නගර සභාවේ උපකරණ උපයෝගි කර ගෙන නගර සභා සේවකයන් විසින් අදාළ ගස් ඉවත් කර තිබෙන බවත්, ඉවත් කරන ලද ගස්වල දැව කොටස් මහනගර සභාව සතුව පවතින බවත් මහනගර සභාව සඳහන් කරයි.
මේ ආකාරයේ ගස් කපා ඉවත් කිරීමට අදාළව සේවකයන් 13 ක් සිටිය යුතු වුවත් දැනට සේවය කරනු ලබන්නේ සේවකයන් 10 දෙනෙකු පමණක් බවත්, මේ අනුව පුරප්පාඩු තුනක් පවතින බවත් පෙන්වා දෙයි.