කොළඹ නගරයේ හිඟ වරිපනම් ආදායම් අයකර ගැනීමට විධිමත් ක්‍රමයක් සකස් කරන ලෙස රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව (COPA) කොළඹ මහ නගර සභාවට උපදෙස් ලබාදෙන ලදී.
වරිපනම් අදායම් පවත්වාගෙන යාම ඇතුළු තවත් කාර්යයන් කිහිපයක් සඳහා KOICA ව්‍යාපෘතිය මගින් දත්ත පද්ධතියක් සකස් කිරීමට අපේක්ෂා කරන බව කොළඹ මහ නගර සභා නිලධාරීහු කෝපා කමිටුවට දැන්වූහ.
ඒ අනුව KOICA ව්‍යාපෘතිය සමග සාකච්ජා කර වරිපනම් එකතු කිරීමේ කාර්ය සාධනය වැඩි කිරීම උදෙසා එම වරිපනම් ආදායම් ක්‍රමවත්ව රැස්කිරීම සඳහා සකස් කරන නව දත්ත පද්ධතිය උපයෝගි කරගැනීමේ ප්‍රගතිය පිළිබඳව කාරක සභාව දැනුවත් කරන ලෙස කොළඹ මහ නගර සභාවට කාරක සභාව විසින් උපදෙස් ලබාදෙන ලදී.
මේ පිළිබඳ කරුණු සාකච්ඡා වුයේ කොළඹ මහ නගර සභාවේ 2022, 2023 වර්ෂයන්හි විගණකාධිපති වාර්තා සහ වර්තමාන කාර්යසාධනය පිළිබඳ පරික්ෂා කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතාගේ සභාපතිත්වයෙන් රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව (COPA) 2025.10.08 වන දින කැඳවූ අවස්ථාවේදීය.
මෙහිදී විගණකාධිපති දෙපාර්තමේන්තුව විසින් මේ වනවිට දේපළ හඳුනාගැනීම සිදුකර ඇති බවට සඳහන් කළ කොළඹ කොටුව ප්‍රදේශයේ හිඟ අදායම් අයකරගැනීමේ කටයුතු මාස 6ක් ඇතුළත අවසන් කරනලෙස ලබාදුන් නිර්දේශය ක්‍රියාත්මක නොකර තිබීම පිළිබඳව කෝපා කමිටුව අදාළ නිලධාරීන්ගෙන් විමසනු ලැබීය.
ඊට පිළිතුරු ලබාදුන් නිලධාරීහු රුපියල් මිලියන 610.96ක් වන හිඟ අදායම් වලින් මේ වනවිට රුපියල් මිලියන 148ක මුදලක් අයකර ගැනීමට හැකිවූ බව පැවසුහ. ඉතිරි මුදල් අයකරගැනීමට අවශ්‍ය කටුයුතු සිදුවෙමින් පවතින බවත් ඔව්හු පැවැසුහ. කෙසේ වෙතත් මෙම එකතු කර ගැනීමට පවතින හිඟ ආදායම් විධිමත්ව අයකර ගැනීමේ සැළස්ම පිළිබඳව සම්පුර්ණ වාර්තාවක් කාරක සභාවට යොමු කරන ලෙසට සභාපතිවරයා උපදෙස් ලබාදුන්නේය.
තවද කොළඹ මහ නගර සභාවට ලැබෙන අනෙකුත් අදායම් මාර්ගග එකතු කරගැනීම සඳහා විධිමත් දත්ත පද්ධතියක් සකස් කිරීමේ වැඩපිළිවෙළ හා හඳුනාගත නොහැකි දේපළ සම්බන්ධයෙන් ගනු ලබන ක්‍රියාමාර්ග වල ප්‍රගතිය පිළිබඳව කාරක සභාව දැනුවත් කරන ලෙස ද සභාපතිවරයා විසින් කොළඹ මහ නගර සභාවේ නිලධාරීන්ට උපදෙස් ලබාදුන්නේය.
