කොළඹ අගනගර නාගරික සංවර්ධන ව්‍යාපෘතියේ ඉතිරි වැඩ කඩිනමින් අවසන් කිරීමට පියවර ගන්න යැයි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා බළධාරීන්ට උපදෙස් දෙයි. මෙම ව්‍යාපෘතියේ ඉතිරි වැඩ සඳහා මේ වසරේ වෙන කර ඇති මුදල රුපියල් මිලියන 457 කි. ව්‍යාපෘතියේ වැඩකටයුතු 99%කින් මේ වන විට අවසන් ව තිබේ.
කොළඹ අගනගර නාගරික සංවර්ධන ව්‍යාපෘතිය යටතේ උප ව්‍යාපෘති 55 ක් ක්‍රියාත්මකයි. නාගරික සංවර්ධන අධිකාරිය, ශ්‍රී ලංකා ඉඩම් ගොඩ කිරීමේ සංස්ථාව සහ කොළඹ මහනගර සභාව එක්ව එම ව්‍යාපෘතීන් ක්‍රියාත්මක කරයි. කොළඹ අගනගර නාගරික සංවර්ධන ව්‍යාපෘතිය යටතේ කොළඹ මහනගර සභාව, ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහනගර සභාව, දෙහිවල ගල්කිස්ස මහනගර සභාව සහ කොලොන්නාව නගර සභාව ආවරණය වේ.
මෙම ව්‍යාපෘතිය යටතේ පොම්පාගාර 3ක වැඩ අවසන් කර තිබේ. අඹතලේ පොම්පාගාරය, ශාන්ත සෙබස්තියන් උතුරු දොරගුළු පොම්පාගාරය සහ ශාන්ත සෙබස්තියන් දකුණු පොම්පාගාරය එම පොම්පාගාර තුනයි. නව මුතුවැල්ල උමග සහ ටොරින්ටන් උමග යන වැසි ජලාපවහන උමං මාර්ග ද මේ යටතේ ඉදිකර අවසන් බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය කියයි.
ඇළ මාර්ග සහ ඇළ හැරවුම් යෝජනා ක්‍රම වැඩිදියුණු කිරීම සහ තෙත්බිම් උද්‍යාන සහ රේඛීය උද්‍යාන සංවර්ධනය කිරීමද මේ යටතේ සිදු කෙරිණ. කොලොන්නාව ඇළ හැරවුම, මාදිවෙල නැගෙනහිර හැරවුම, බේරෙ වැව රේඛීය උද්‍යානය සහ කෝට්ටේ රැම්පාට් උද්‍යානය ඒ අතර වෙයි. කෝට්ටේ රැම්පාට් තෙත්බිම් උද්‍යානය පසුගිය වසරේ ඔක්තෝම්බර් මස 31 වැනිදාට යෙදුණු ලෝක නාගරික දිනය නිමිත්තෙන් නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට පත් කෙරිණ. ඒ සදහා වැය කෙරුණු මුදල රුපියල් මිලියන 400 ක් පමණ වේ.
කොළඹ ජල ද්‍රෝණියේ ජල පෝෂක ප්‍රදේශවල ගංවතුර අවම කිරීම කොළඹ අගනගර නාගරික සංවර්ධන ව්‍යාපෘතියේ ප්‍රධානතම අරමුණයි. නාගරික සංවර්ධන සහ නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි. කොළඹ අගනගරය ලෝක මට්ටමේ නගරයක් බවට පත් කිරීම, සෞඛ්‍යය සම්පන්න ජීවන රටාවක් ඇති කරලීම, සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීම සහ යටිතල පහසුකම් ප්‍රතිසංස්කරණය හා නඩත්තු කිරීම මෙහි අනෙක් අරමුණු වේ.
මෙම ව්‍යාපෘතිය යටතේ කොළඹ, ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ සහ කොළොන්නාව නගර සභාව යන බල ප්‍රදේශ වල යටිතල පහසුකම් ද වැඩිදියුණු කෙරිණි.