කහතුඩුව පොල්ගස්ඕවිට ඒ ටි එම් කුටියක අමතකව දමා ගිය බැංකු කාඩ් පතක් සොරාගෙන රන් භාණ්ඩ මෙන්ම ආහාර ද්‍රව්‍ය මිලදී ගත් තරුණයන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව කහතුඩුව පොලිසිය පැවසීය.
ඔවුන් දෙදෙනාම මීට දින කිහිපයකට ඉහත දී පොලිස් කොස්තාපල් තනතුර සඳහා අයදුම්පත්‍ර ඉදිරිපත් කළ පුද්ගලයන් බව විමර්ශනවලදී හෙළිවී ඇත
අලුත්ගම ප්‍රදේශයේ පුද්ගලයකු ඒ ටි එම් යන්ත්‍රයෙන් මුදල් ගැනීම සඳහා පසුගියදා (31) පැමිණි අවස්ථාවකදී බැංකු කාඩ් පත අමතක වී දමා ගොස් තිබිණි.
සැකකරුවන් දෙදෙනා එම කාඩ්පතින් කහතුඩුව ප්‍රදේශයේම සුපිරි වෙළඳ සැලකින් හාල්, පිටි,පරිප්පු ඇතුළු ආහාර ද්‍රව්‍ය රැසක් ලබා ගෙන බැංකු කාඩ්පත ලබාදී ඇති අතර ඒ මොහොතේම බැංකු කාඩ්පත් හිමියාගේ ජංගම දුරකථනයට කෙටි පණිවිඩයක් ලැබීමත් සමග තම බැංකු කාඩ්පත නැති වී ඇති බව ඔහු දැනගෙන තිබූ බව පොලිසිය පවසයි.
සැකකරුවන් දෙදෙනා අනතුරුව බණ්ඩාරගම නගරයේ රන් භාණ්ඩ අලෙවි සැලකට ගොස් එක් අයකුට මාලයක් සහ අනෙක් පුද්ගලයාට අත් පළඳනාවක් ද මිලදීගෙන බැංකු කාඩ්පතින් ඒ සඳහා රුපියල් ලක්ෂ දෙකකට අධික මුදලක් ගෙවා මිලදී ගෙන ඇතැයිද පොලිසිය කියයි
කාඩ්පත් හිමියා අදාළ බැංකුවට දුරකථන ඇමතුමක් දී ලබාදී කාඩ් පත අක්‍රීය කරන අවස්ථාව වන විට සැකකරුවන් විනාඩි කීපයක් තුළ දී අවස්ථා පහකදී රුපියල් දෙලක්ෂ තිස් දහසකට අධික වටිනා භාණ්ඩ මිලදී ගෙන තිබූ බව පොලිසිය කියයි.
තම නැති වූ ඒ ටි එම් කාඩ් පතින් කිසියම් පුද්ගලයකු කහතුඩුවේ දී සහ බණ්ඩාරගමදී භාණ්ඩ ලබා ගෙන තිබෙන බවට පත්වූ පොලිසියට ලද පැමිණිල්ලක් අනුව වහා ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරීන් අදාළ පුද්ගලයා ලබාදුන් තොරතුරු ඔස්සේ සිදුකළ විමර්ශනවලදී සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව පොලීසිය කියයි.
තමන් පොලිස් කොස්තාපල් තනතුරට අයදුම් කර ඇති බැවින් තමන්ට සමාව දෙන ලෙස සොරකමේ යෙදුණු තරුණයන් දෙදෙනා පොලිස් නිලධාරීන්ගෙන් ආයාචනා කළ බව පොලිස් නිලධාරියෙක් පැවැසීය.
සැකකරුවන් රන් භාණ්ඩ අලෙවි සැලට හා සුපිරි වෙළෙඳ සැලට ගොස් එම භාණ්ඩ මිලදී ගන්නා අයුරු එහි සීසීටීවී කැමරාවල සටහන්ව ඇතැයි ද අත්අඩංගුවට ගත් වයස අවුරුදු 22 හා 25 සැකකරුවන් දෙදෙනා වීදියගොඩ පදිංචිකරුවන් බවද පොලීසිය සඳහන් කළේය.
ගල්කිස්ස කොට්ඨාස ජේෂ්ඨ පොලිස් අධිකාරී මංගල දෙහිදෙණිය ,සහකාර පොලිස් අධිකාරී සාරනාත් සමරකෝන් මහත්වරුන්ගේ උපදෙස් මත මහත්තයෝ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක තුසිත වික්‍රමරත්න අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අතුල ගම්ලත් මහත්තුරු පරීක්ෂණ පවත්වයි.