තංගල්ල විතාරන්දෙණිය තේනගම ප්‍රදේශයේදී පිරිසකගේ පහරදීමකින් මියගිය පොලිස් කොස්තාපල්වරයා ඝාතනයේ සැකකරුවන්ට අයත් බව කියන තේනගම ප්‍රදේශයේ හෝටලයකට සහ නිවෙසකට ඊයේ (18) රාත්‍රි කිසියම් පිරිසක් විසින් ගිනිතබා හානිකර ඇතැයි තංගල්ල පොලිසිය කියයි.
තංගල්ල විතාරන්දෙණිය තේනගම ප්‍රදේශයේ පදිංචි එක්දරු පියකු වන විදානගමගේ චතුරංග දිල්ෂාන් (36) නැමැති අයකු මෙලෙස ඝාතනය කර තිබිණි. මොහු දක්ෂිණ අධිවේගී මාර්ගයේ කසාගල පිවිසුමේ පොලිස් මුරපොළෙහි සේවය කරමින් සිටි පොලිස් කොස්තාපල්වරයකු බවද පොලිසිය කියයි.
මියගිය පොලිස් කොස්තාපල්වරයාට අයත් විතාරන්දෙණිය තේනගම ප්‍රදේශයේ අඩක් ඉදිකළ නිවෙසක් අසලදී මෙම පහරදීම සිදුව තිබිණි.
ඝාතනය සම්බන්ධයෙන් සැකපිට තිදෙනෙකු සහ ඝාතනයට අනුබල දීමේ චෝදනා අනුව තවත් කාන්තාවක තංගල්ල මූලස්ථාන පොලිසිය විසින් අත්අඩංගුවට ගත් බව තංගල්ල කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා පැවැසීය.
මෙම සිද්ධියෙහි සැකකරුවකුට අයත් බව කියන හෝටලයක් සහ මියගිය කොස්තාපල්වරයා පදිංචි නිවෙස අසළ පිහිටි නිවෙසක් ඊයේ රාත්‍රී කිසියම් පිරිසක් විසින් ගිනිතබා ඇතැයි තංගල්ල පොලීසිය කියයි. තවද හෝටලයේ තිබූ භාණ්ඩ කිහිපයකට හානිකර ඇතැයිද පොලිසිය කියයි.

