කොරියාවේ රැකියා පෙන්වා කෝටියක් වංචාකළ සැකකරු අල්ලයි
දකුණු කොරියාවේ කෘෂිකාර්මික අංශයේ රැකියා ලබාදෙන බව පවසා රුපියල් කෝටියකට අධික මුදලක් වංචාකළ පුද්ගලයෙකු ශ්රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ පොලිස් ඒකකයේ නිළධාරීන් විසින් ඊයේ දින (12/01) අත්අඩංගුවට ගන්නා ලදී.
දකුණු කොරියාවේ කෘෂිකාර්මික අංශයේ රැකියා ලබාගත හැකි බව පවසමින් සැකකරු අනුරාධපුර හා කුරුණෑගල යන ප්රදේශවල පුද්ගලයින් රවටා මුදල් ලබාගෙන ඇති අතර, ඔහුට විරුද්ධව පැමිණිලි 14ක් කාර්යාංශය වෙත ලැබී තිබේ. එම පැමිණිලි අනුව ඔහු වංචා කර ඇති මුදල රුපියල් එක් කෝටි එකොලොස් දහසකට අධික වේ. විමර්ශන නිළධාරීන් සැකකරු අත්අඩංගුවට ගැනීමට කිහිපවරක් උත්සහ කළද, ඔහු විමර්ශන නිළධාරීන් මගහරිමින් සැගවී සිට තිබේ. සැකකරු කැළණිය, දිප්පිටිපොල ප්රදේශයේ සිටින බවට ලද තොරතුරක් මත වහාම ක්රියාත්මක වූ විමර්ශන නිළධාරීන් අදාළ සැකකරු එහිදී අත්අඩංගුවට ගත් අතර, ඒ අවස්ථාවේ සැකකරු සතුව තිබී විදේශ ගමන් බලපත්ර 6ක්ද විමර්ශන නිළධාරීන් භාරයට ගන්නා ලදී.
අත්අඩංගුවට ගත් සැකකරු අද දින (12/02) කඩුවෙල මහේස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව දෙසැම්බර් 16 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මහේස්ත්රාත්වරයා නියෝග කළේය. ඉදිරියේදී සැකකරු පිළිබඳව කුරුණෑගල අධිකරණයට කරුණු වාර්තා කරමින් සැකකරු කුරුණෑගල අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

