මුදල් ආරවුලක් සම්බන්ධයෙන් වූ බහින්බස් වීමක් දුරදිග යාමෙන් කළ පහරදීමකින් තුවාල ලැබූ කොරියානු ජාතිකයකු ප්‍රතිකාර සඳහා හෝමාගම මූලික රෝහලට ඇතුළත් කළ බව කොට්ටාව පොලිසිය පවසයි .
මෙසේ තුවාල ලබා ඇත්තේ කොරියාවේ සිට මෙරටට පැමිණ මත්ස්‍ය අපනයන ආයතනයක සේවය කළ (63) හැවිරිදි පුද්ගලයෙකු බව පොලිසිය කියයි .
මෙම පුද්ගලයා මීගමුව ප්‍රදේශයෙන් මත්ස්‍ය අපනයනය කරන ආයතනයක් හා සම්බන්ධව සිටින අතරතුරදී මීට මාසයකට පමණ පෙර කොට්ටාව මිල්ලගහ වත්ත ප්‍රදේශයේ පුද්ගලයෙකු හා මිතුරු වී ඔහුගේ නිවසට පැමිණ වාසය කර ඇතැයි පැවසේ.
ඒ කාලය තුළදී කොරියානු ජාතිකයා සමග විවිධ ප්‍රදේශවල ගමන් කරමින් ඔහුගේ භාෂා පරිවර්තකයා ලෙස ද මෙරට මිතුරා කටයුතු කර ඇති බව පොලීසිය කියයි .
මේ අතරතුරදී විදේශිකයා හරහා විවිධ පුද්ගලයින් කොරියාවේ රැකියා වලට යවන බව පවසා මුදල් ලබා ගෙන ඇති බවත් එම මුදල් තමාටත් ලබා දෙන බව පවසමින් දෙදෙනා අතර ඉකුත් (26) දා සවස බහින්බස් වීමක් සිදුව තිබේ .
පසුව එම බහින්බස් වීම ගැටුමක් දක්වා දුරදිග ගොස් කළ පහරදීමකින් තුවාල ලැබූ විදේශිකයා හෝමාගම මූලික රෝහලට ඇතුළත්ව ප්‍රතිකාර ලබා ඇති අතර ඔහුගේ තත්ත්වය සාමාන්‍ය බව පොලීසිය කියයි.
එදින සවස පහට පමණ විදේශිකයා ප්‍රතිකාර සඳහා රෝහලට පැමිණ ඇති අතර රෝහලට නොදන්වා එදින රාත්‍රී 7 ට පමණ රෝහලින් පිටව ගිය කොරියානු ජාතිකයකු ඔහුගේ ජංගම දුරකතනය රැගෙන නැවත රාත්‍රී 10ට පමණ රෝහලට පැමිණ ඇති බවද රෝහල් ආරංචිමාර්ග පවසයි.
පසුව 27 දා උදෑසන නැවත රෝහලෙන් පිටව ගොස් කොට්ටාව පොලීසියට පැමිණ පහරදීමක් සම්බන්ධයෙන් කළ පැමිණිල්ලකට අනුව කොට්ටාව මිල්ලගහ වත්ත ප්‍රදේශයේ 37 හැවිරිදි ඔහුගේ මිතුරා බව පැවසෙන පුද්ගලයා අත්අඩංගුවටගත් බව පොලිසිය කියයි .
ඔහුට ඉංග්‍රීසි භාෂාව චතුරව හැදෑරීමට නොහැකි වීම හේතුවෙන් සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමට පොලිසියට දැඩි පරිශ්‍රමයක් දැරීමට සිදුව තිබුණි.
මත්තේගොඩ ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න