කෘෂිකර්ම, වනජීවි හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ අගුණකොලපැලැස්සේ නිවස පිහිටි ඉඩමේ මේ වන විට කාබනික පොහොර යොදා සිදු කළ වගාව සරු වී තිබේ.
තමන් විසින් ගෙවත්තේ වගාකළ එළවළුවල අස්වනු නෙලීම පසුගියදා අමාත්‍යවරයා විසින් සිදු කරනු ලැබීය.
වම්බටු, පතෝල, රාබු, ගෝවා, නෝකෝල්, මෑ කරල්, මිරිස්, මාළු මිරිස්, තක්කාලි, නිවිති, කරවිල ආදී උඩරට, පහතරට සහ වියළි කලාපයේ වැවෙන සියලු එළවළු වර්ග අමාත්‍යවරයා විසින් වගා කර තිබේ.
ඉන් අනතුරුව අදහස් ප්‍රකාශ කළ අමාත්‍යවරයා - “අපිට අවශ්‍ය සහල් මම මගේ කුඹුරෙන්ම ලබාගන්නවා. එළවළුත් මම වගා කරලා තියෙනවා. හැම කෙනෙක්ටම තමන්ට තියෙන සුළු ඉඩක වුණත් යම්කිසි බෝගයක් හෝ දෙකක් වගා කළ හැකියි. වස විසෙන් තොර කාබනික වගාව මම හැමදාම අනුමත කරනවා. එමඟින් අපිට වාසි රැසක් ලබාගත හැකියි. කෘෂිකර්ම අමාත්‍යාංශය තුළ කටයුතු කරන හැම නිලධාරියෙක්ම තම ගෙවත්තේ කුමන බෝගයක් හෝ වගා කළ යුතුයි. අනිත් අයට ආදර්ශයක් වීමට අපි හැමෝම කටයුතු කළ යුතුයි ” යැයිද ඇමතිවරයා සඳහන් කළේය.
