ව්‍යාජ තොරතුරු ඇතුළත් කර කූඨ ලෙස සකස් කළ බහමාස් රාජ්‍යයට අයත් ගුවන් ගමන් බලපත්‍රයක් උපයෝගී කර ගනිමින් ශ්‍රී ලංකාවට ඇතුළු වීමට උත්සාහ කළ නයිජීරියානු ජාතිකයෙකු 04/10 දින සවස කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේ දී ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන , ආපසු පිටුවහල් කිරීමට පියවර ගෙන තිබේ .
31 හැවිරිදි මෙම නයිජීරියානු ජාතිකයා එරට දේපළ වෙළෙඳාම් ක්ෂේත්රයේ රැදී සිටින්නෙකු බවට තොරතුරු ප්‍රකාශ කර තිබේ .
මොහු නයිජීරියාවේ සිට ලයිබීරියාවට පැමිණ එතැනින් මොරොක්කෝ රාජ්‍යයට පැමිණ තිබේ . ඉන්පසුව කටාර් රාජ්‍යයට පැමිණ 04/10 දින සවස 04.20 ට කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 654 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ .
මොහු ගුවන් තොටුපළ වෙත පිවිස ආගමන විගමන දෙපාර්තමේන්තු කවුළුවෙහි සේවයේ නිරත නිලධාරීන් වෙත බහමාස් රාජ්‍යයට අයත් ගුවන් ගමන් බලපත්‍රය ඉදිරිපත් කර ඇති අතර ඒ පිළිබඳව ඇතිවූ සැකය මත , ප්‍රධාන ආගමන විගමන නිලධාරීවරයා විසින් මෙම ලියකියවිලි ගුවන් තොටුපළ තුළ පිහිටි දේශසීමා ආවේක්ෂණ ඒකකයේ විමර්ශනය සදහා යොමු කර තිබේ .
එහිදී මෙම ගුවන් ගමන් බලපත්‍රය කූඨ ලෙස සකස් කර ඇති බව තහවුරු වීමත් සමගම , තමන් ඉකුත් 2022 වසරේ සිට කීප අවස්ථාවකම ශ්‍රී ලංකාවට පැමිණීම සදහා වීසා අයදුම් කර සිටි බවත් , ඒ සියලු උත්සාහයන් අසාර්ථක වූ පසුව තම පියා විසින් මෙම බහමාස් රාජ්‍යයේ ගුවන් ගමන් බලපත්‍රය සකස් කර දුන් බවත් ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් හමුවේ අනාවරණය කර තිබේ .
මෙසේ නයිජීරියානු ජාතිකයන් ශ්‍රී ලංකාවට ඇතුළු වී ඒ.ටී.එම්.යන්ත්‍ර කඩා මුදල් ගැනීම , ව්‍යාජ දත්ත ඒවාට ඇතුළත් කර මුදල් සොරා ගැනීම ආදී මූල්‍ය වංචා සිදු කිරීම පිළිබඳව දිගින් දිගටම චෝදනාවලට ලක් වීම නිසා , ඔවුන්ට ශ්‍රී ලංකාවට ඇතුළු වීමට අවකාශය ලැබෙන්නේ දැඩි සොයා බැලීම් වලින් අනතුරුව අත්‍යාවශ්‍යම පුද්ගලයෙකුට පමණි .
තවදුරටත් මොහුගේ පසුබිම් තොරතුරු විමර්ශනයට ලක් කිරීමෙන් අනතුරුව , ඔහු පැමිණි ගුවන් යානයෙන්ම ආපසු පිටුවහල් කිරීම සහ එම ගුවන් සේවය වෙත මොහු භාර දී තිබේ.