කුවේටයේ ගෘහ සේවය සදහා ගොස් සිටියදී , එරට හාම්පුතුන් අතින් විවිධ කරදර , හිරිහැර වලට ලක් වූ , විවිධ රෝගාබාධිත තත්වයන්ට ගොදුරු වී සිටි සහ මෙම ශ්රී ලාංකික ගෘහ සේවිකාවන්ගේ නිවෙස් වල මතු වී තිබූ ගැටළු මත ශ්රී ලංකාවට පැමිණීමට නොහැකිව සිටි 47 දෙනෙකුගෙන් යුතු ශ්රී ලාංකික ගෘහ සේවක - සේවිකාවන් පිරිසක් අද (25දා) උදෑසන කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ ඇත.
මෙසේ පැමිණ තිබූ පිරිස අතරින් ගෘහ සේවිකාවන් 42 දෙනෙකු සිටි අතර ඉතිරි 05 දෙනා සේවකයින් වූහ . ඔවුන් අතරින් වැඩි පිරිසක් අනුරාධපුර දිස්ත්රික්කය තුළ පදිංචිකරුවන් වීම ද විශේෂත්වයකි .
ඔවුන් පිරිස අද (25දා) උදෑසන 06.40 ට ඕමානයේ මස්කට් නුවර සිට ශ්රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 230 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .
මෙම ශ්රී ලාංකික ගෘහ සේවිකාවන් තවදුරටත් 1,300 ක පමණ පිරිසක් ශ්රී ලංකාවට පැමිණීමට නොහැකිව කුවේටයේ රැදී සිටින බව එරට ශ්රී ලංකා තානාපති කාර්යාලයේ තෙවන ලේකම් ජනක සමරසේකර මහතා අප කළ විමසුමකදී අනාවරණය කළේය.
මෙසේ ශ්රී ලංකාවට පැමිණීමට අපේක්ෂාවෙන් සිටින මෙම ගෘහ සේවිකාවන් කඩිනමින් ශ්රී ලංකාවට එවීමට කටයුතු කරන බව ද හෙතෙම වැඩිදුරටත් පැවසීය .
පැමිණි පිරිස අතරින් වැඩි පිරිසක් තම හාම්පුතුන් අතින් විවිධ හිරිහැර කරදර වලට ලක් වීමෙන් පසු , ඔවුන්ට හිමි වැටුප් පවා නොගෙවා ඇති අතර , ඔවුන් අවසානයේ එතෙක් සේවය කළ නිවාස වලින් පළා විත් , ශ්රී ලංකා තානාපති කාර්යාලයට භාර වී තිබුණි .
මෙවන් පසුබිමක් යටතේ එරට රජය මෙම ශ්රී ලාංකික ගෘහ සේවිකාවන් කුවේටයෙන් පිටව යෑම තහනම් කරමින් ගුවන් ගමන් තහනමක් (Runway Case ) පැනවීමක් සිදු කරනු ලබයි .
මේ නිසා මෙම ශ්රී ලාංකික ගෘහ සේවිකාවන් ශ්රී ලංකා තානාපති කාර්යාලය සහ විදේශ සේවා නියුක්ති කාර්යාංශය මැදිහත් වී , එරට බන්ධනාගාරය වෙත පැය 72 ක කාළයක් සදහා යොමු කර , කුවේටයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් සමග සාකච්ඡා කර , ඔවුන් වෙත පනවා තිබූ ගුවන් ගමන් තහනම ඉවත් කර ගැනීමෙන් පසු , මෙම ශ්රී ලාංකික ගෘහ සේවිකාවන් මෙරටට එවීමට පියවර ගෙන තිබුණි .
