ඉංගිරිය නම්බපාන කැටකැරැල්ල පාලම ආසන්නයේ බෑවුමක කැලෑ ප්‍රදේශයක දමා ගොස් පුද්ගලයාගේ ඝාතනය සිදුවී ඇත්තේ තදබල ලෙස පහර දී ගෙල සිර කිරීමෙන් බවට පශ්චාත් මරණ පරීක්ෂණයේදී අනාවරණය වී යැයි පානදුර කොට්ඨාස පොලිස් අධිකාරී කාර්යාලය පවසයි.
මෙලෙස ඝාතනයට ලක්ව තිබුනේ මිනුවන්ගොඩ ගල්ලොලුව හරස් පාර පදිංචිව සිටි ලේකම්ලා ගෙදර අශෝක බණ්ඩාර (48) නමැති කුලී රථ රියදුරෙකු ලෙස රැකියාව කරන එක් දරු පියෙකි.
එම පුද්ගලයාගේ මළ සිරුර දමා ගොස් තිබූ ස්ථානයට ඉකුත් 15දා නිරීක්ෂණය සඳහා පැමිණි හොරණ ප්‍රධාන මහේස්ත්‍රාත් චන්දන කලංසූරිය මහතා මළ සිරුර හොරණ මූලික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඥාතීන් හඳුනාගැනීමෙන් අනතුරුව අධිකරණ වෛද්‍ය නිලධාරි වරයෙකු ලවා පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වන ලෙස පොලිසියට නියෝග කළේය.
ඒ අනුව අදාළ මළ සිරුර ඝාතනයට ලක්වූ පුද්ගලයාගේ ඥාතීන් හඳුනාගැනීමෙන් අනතුරුව හොරණ මූලික රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය පණීත සෙනවිරත්න මහතා විසින් පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වන ලදී.
මෙම පහර දීම පුද්ගලයන් සමූහයක් එක්ව සිදුකල ඒවා බවට ශරීරය පුරා තිබෙන තුවාල සහ තැලුම් තුවාල තුවාල වලින් පැහැදිලි වන බව පොලිස් නිලධාරියකු පැවැසීය.
අදාළ ඝාතනය සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් මේ වන විට සිදුකළ විමර්ශනවලදී ඝාතනයට ලක් වූ පුද්ගලයා ඉකුත් 11දා ගාල්ල ප්‍රදේශයේ රැඳී සිට කුලී ගමන් කීපයක් ගොස් ඇති බවට නුගේගොඩ ප්‍රදේශයේ කුලී ගමන් සේවා සමාගමක් ඔස්සේ සිදුකළ පරීක්ෂණයකදී අනාවරණය වී යැයි පොලිස් නිලධාරියකු පැවැසීය.
එදිනෙන් පසු ඔහු පිළිබඳව තොරතුරක් නොවූ බව එම සමාගම පැවසීයැයි පොලිස් නිලධාරියා වැඩිදුරටත් පැවසීය.
ඉකුත් 15දා වෙනි දිනඝාතනයට ලක්වූ පුද්ගලයාගේ මළ සිරුර හමු වන විට අත් දෙක බඳ පටියකින් සහ සුදු පාටට හුරු බැනියමකින් පිටුපසට කර ගැටගසා තිබූ අතර සුදු පාට රෙදි කඩකින් කට ගැටගසා තිබූ බවත් යට ඇඳුම පමණක් තිබූ බවත් පොලිසිය සඳහන් කරයි.
ඝාතනයට ලක්වූ පුද්ගලයාගේ බිරිඳ විදේශගතව සිටින අතර ඔහු ඇයගෙන් ඈත් ව ඇතැයි ද සෑම දිනකම පොළොන්නරුවේ සිටින මවට හා එකම පුතුට ජංගම දුරකථනය හරහා කතාබස් කර සුවදුක් විමසීම පුරුද්දක් කරගෙන තිබූ අතර ඉකුත් දොළොස්වෙනි දින සිට ඔහුගෙන් ඇමතුම් නොලැබී ඇතැයි පොලිසිය කියයි.
සිය සහෝදරයා පිළිබඳ තොරතුරක් නොමැති බවත් ඔහුගේ ජංගම දුරකථනයද ක්‍රියා ක්‍රියාවිරහිතව ඇති බවත් පවසමින් ඝාතනයට ලක් වූ පුද්ගලයාගේ සහෝදරයකු මිනුවන්ගොඩ පොලිසියට පැමිණිලි කිරීමට පෙරේදා (18දා) ආ අවස්ථාවේදී ඡායාරූප පෙන්වීමෙන් අනතුරුව ඔහුන් හොරණ මූලික රෝහල වෙත පැමිණ මළ සිරුර පරීක්ෂාකර සිය සහෝදරයා ගේ සිරුර බවට සැක හැර හඳුනා ගත් බවත් පොලිසිය කියයි.
මළ සිරුර හමු වන විට ඔහුගේ සුඛෝපභෝගී මෝටර් රථය, ජංගම දුරකථන සහ මුදල් පසුම්බිය නොතිබූ බවත් පොලිසිය කියයි.මෙම පුද්ගලයාට අයත් මෝටර් රථය පැහැරගැනීමට ඝාතනය කළාද ? වෙනත් හේතුවක් මත ඝාතනය කළාද? වෙනත් ස්ථානයක දී ඝාතනය කර මෙම ස්ථානයට ගෙනත් දැම්මා ද ? යන්න පැති කීපයක් ඔස්සේ විමර්ශන සිදුකරන බව පොලීසිය පැවසීය.