කුරුණෑගල ඓතිහාසික රාජධානියට අයත් බව කියන රාජසභා මණ්ඩපය කඩා දැමීම සම්බන්ධයෙන් චෝදනාවට ලක්ව සිටින කුරුණෑගල මහ නගර සභාවේ හිටපු උසස් නිලධාරියෙකුට රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය විසින් බෞද්ධ කටයුතු අමාත්‍යාංශයේ අතිරේක බෞද්ධ කටයුතු කොමසාරිස්වරයෙකු ලෙසට උසස්වීමක් ලබාදී ඇති බව වාර්තාවේ.
වහාම ක්‍රියාත්මක වන පරිදි මෙම උසස්වීම ලබාදී ඇතත් කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණය මඟින් ලබාදී ඇති අත්අඩංගුවට ගැනීමේ නියෝගයක් හේතුවෙන් සැඟව සිටින බව කියන මෙම නිලධාරියා දැනට සිටින ස්ථානයක් පවා දැනගත නොහැකිවී ඇති බවද දැනගන්නට ලැබේ.
පුරා විද්‍යාත්මක වටිනාකමක් සහිත ස්ථානයකට හානි කිරීමට අනුබල සහ අවසරය ලබා දීම මත චෝදනාවට ලක්ව සිටින මෙම නිලධාරියා සම්බන්ධයෙන් විනය පරීක්ෂණයක් පැවැත්විය යුතු වුවද වයඹ පළාත් සභාව මඟින් එම විනය පරීක්ෂණය මෙතෙක් නොපවත්වා චූදිත නිලධාරියාව උසස්වීමක් සඳහා නිර්දේශ කිරීම සම්බන්ධයෙන් වයඹ පළාතේ අනෙකුත් රාජ්‍ය නිලධාරීන් විමතිය පළ කරති.
එසේම පුරා විද්‍යාත්මක වටිනාකමක් සහිත ස්ථානයකට හානි කිරීමේ චෝදනාව මත දැනටමත් අධිකරණය හමුවේ සැකකරුවෙකුව සිටින මොහුට පුරා විද්‍යාවට සම්බන්ධ අමාත්‍යාංශයක් තුළින්ම උසස්වීමක් ලබාදීම හාස්‍යජනක කරුණක් බවද එම නිලධාරීන් පෙන්වා දෙති.
මෙම සිද්ධියට සම්බන්ධ සැකකරුවන් පිරිස අත්අඩංගුවට ගන්නා ලෙස කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණය මඟින් නොතීසි නිකුත් කර තිබෙන අතර අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන සිදු කළද මෙම නිලධාරියා සිටින ස්ථානයක් තවමත් සොයාගත නොහැකිවී ඇති බව පොලීසිය පවසයි. චූදිත නිලධාරියා හට මේ ආකාරයට උසස්වීම් ලබා දීම පසුපස දේශපාලන බලපෑමක් ඇති බවද වාර්තාවේ.
විශේෂ වාර්තාකරුවෙකු විසිනි