අනුරාධපුර නව නගර මධ්‍යයේ පිහිටා ඇති කුම්බිච්චන්කුලම වැවේ ලක්ෂ ගණනින් මත්ස්‍යයන් මිය යෑම පාලනය වෙමින් පවතින බවත් ඊයේ (8දා) වන විටත් ජීවිතක්ෂයට පත්ව සිටි මසුන් නගර සභා සේවකයන් මගින් ඉවත් කිරීම සිදු කෙරුණු බව නගර වැසියෝ පවසති.
ඉකුත් 5 දා රාත්‍රියේ සිට කුම්බිච්චන්කුලම වැව සිටි විශාල ප්‍රමාණයේ සහ කුඩා ප්‍රමාණයේ විවිධ වර්ගයේ මත්ස්‍යයින් , ඉස්සසන් ඇතුළු ජලජ ජීවීන් ලක්ෂ 5කට වැඩි ප්‍රමාණයක් ජීවිතක්ෂයට පත්වන්නට ඇතැයි අනුමාන කරන බවත්, ජීවිතක්ෂයට පත් වූ එම මත්ස්‍යයන් අනුරාධපුර මහ නගර සභාවේ ට්‍රැක්ටර් රථ, ගමන් වාර 10 කට වැඩි ප්‍රමාණයකින් නිසල නිම්නය පොදු සුසාන භූමිය වෙත රැගෙන ගිය බව ප්‍රකාශකයෙකු පැවසීය.
මියගිය මාළු, කුරුල්ලන්, බල්ලන් සහ කබරයින් ඇතුළු තවත් සතුන් අනුභව කළද එම සතුන් ජීවිතක්ෂයට පත් නොවීම තුලින් එම සිදුවීම ජලයට විෂක් කලවම් වීමක් මගින් සිදු වූවක් නොවන බවට සෞඛ්‍ය අංශ විශ්වාසය පල කරයි .
කුම්බිච්චන්කුලම වැවේ මත්ස්‍ය ගහනයෙන් සියයට 75ක් පමණ මේ වන විට මිය ගොස් ඇති අතර එය ඊයෙ 8දා වන විට සම්පූර්ණයෙන්ම පාලනය වී ඇතැයි අනුරාධපුර මහ නගර සභාවේ නාගරික කොමසාරිස් රුවන් විජේසිංහ මහතා පැවසීය.
රජ රටට බලපා ඇති දැඩි නියං තත්වය හේතුවෙන් එම වැවෙහි ජලය සීඝ්‍ර ලෙස අඩු වීමත් මාළු ගහණය විශාල ලෙස ඉහල යාමත් හේතුවෙන් ජලයේ ඇති ඔක්සිජන් අඩු වීමේ ප්‍රතිඵලයක් සහ ඇල්ගී තත්ත්වයක් මත මෙය සිදු වන්නට ඇතැයි අනුමාන කරන බවද ඒ මහතා වැඩි දුරටත් පැවසීය.
අනුරාධපුර නගර මධ්‍යයේ පිහිටි ස්වභාව සෞන්දර්යෙන් පිරි මෙම වැව ආසන්නයේ දිනකට දහස් ගණනින් ජනතාව සැරිසරන අතර, වැව වටා ඇවිදින මංතීරුක්, ළමා උද්‍යාන, වීදි ආහාර වෙළඳසැල් (street food) ආදිය පිහිටා ඇති අතර දහස් ගණනින් කුරුළු විශේෂ රැසක් ජීවත් වන එම ප්‍රදේශය කුරුලු පාරාදීසයකි.
දැනට දින හතරකට පෙර සිට මෙසේ වැවෙහි මාළු මිය යාම පටන් ගත් අතර ඒ හේතුවෙන් අනුරාධපුර නව නගරය සීමාව තුළ දැඩි දුර්ගන්ධයක් හැමීම හේතුවෙන් අමතර පන්ති පැමිණි සිසු සිසුවියන්, මහජන පොළට සහ නගරයේ අනෙකුත් ආයතන විට දෛනිකව පැමිණි පිරිස් දැඩි අපහසුතාවයට පත් වූහ.
දිනපතා මියගිය මාළු මහ නගර සභාව මඟින් ඉවත් කල අතර ඇල්ගී තත්ත්වය පාලනය කිරීම සඳහා බෝට්ටු යොදා ජලය කැළඹ වීම් කිරීමෙන් අනතුරුව තත්ත්වය සම්පූර්ණයෙන්ම පාලනය වූ බව නාගරික කොමසාරිස් රුවන් විජේසිංහ පැවසීය.
තවද මේ සම්බන්ධ පරීක්ෂණ වාර්තා සඳහා ජල සාම්පල් සහ ජීවිතක්ෂයට පත් වූ මත්ස්‍ය කොටස් සෞඛ්‍ය අංශ සහ අනෙකුත් අදාළ අංශ වෙත යොමු කර ඇති අතර ඉදිරියේදී එහි වාර්තාව ලැබීමට නියමිත බවද ප්‍රකාශකයකු පැවසීය.
මත්ස්‍යයින් මිය ගොස් ඇති අයුරු දැක ගැනීම සඳහා විශාල පිරිසක් පෙරේදා 6දා උදෑසන වන විට එම වැව අසලට පැමිණ සිටි අතර ඇතැම් තරුණ පිරිස් මත්ස්‍යයන් බේරා ගෙන වෙනත් ජල ප්‍රදේශයකට මුදා හැරීමට කටයුතු කරමින් සිටි අතර, තවත් පිරිසක් මෙම මත්ස්‍යයින් ආහාරය සදහා සහ විකිණීමට රැගෙන යන අයුරුද මෙහිදී දැක ගත හැකි විය.