ගාල්ල දිස්ත්‍රික්කයේ සියලුම වෙරළ තීරයන් එක් දිනකදි පිරිසිදු කිරීමේ අරමුණින් සංවිධානය කරන ලද "සයුර රකින රැල්ල" වැඩසටහනේ ප්‍රධාන වැඩසටහන පසුගියදා ගාල්ල දෙවට වෙරළ තීරයේදී පැවැත්විණ . මෙම වැඩසටහන සඳහා වැවිලි අමාත්‍ය රමේෂ් පතිරණ මහතා, දකුණු පළාත් ආණ්ඩුකාර ආචාර්ය විලී ගමගේ මහතා සහ වෙරළ සංරක්ෂණ හා පහත් බිම් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය මොහාන් ද සිල්වා මහතා ද සහභාගී වී සිටියහ.
වෙරළ සංරක්ෂණ හා පහත් බිම් සංවර්ධන අමාත්‍යාංශය යටතේ පවතින සමුද්‍රිය පරිසර ආරක්ෂණ අධිකාරිය මගින් වැඩසටහන සංවිධානය කරතිබූ අතර ගාල්ල දිස්ත්‍රික්කයේ වෙරළ තීරයන් 29ක මීට සමගාමීව වෙරළ පවිත්‍රතා වැඩසටහන් පැවැත්විණ. ඒ අනුව බෙන්තර සිට ගොවියපාන දක්වා මුලු ගාලු දිස්ත්‍රික්කයේම වෙරළ තීරය ආවරණය වන පරිදි කි.මී 94 ක වෙරළ තීරයක් පිරිසිදු කිරීම සිදුකෙරිණ.
මෙම වැඩසටහන යටතේ ගාල්ල දිස්ත්‍රික්කයට අයත් වෙරළ තීරය දෛනිකව පිරිසිදු කිරීම සදහා සමෘද්ධිලාභින් යොදවා ඇති අතර දිනකට පැයක පමණ කාලයක් ඔවුන් හට වෙන්කොට ඇති වෙරළ තීරයන් පිරිසුදු කරනු ලබයි. ඒ සදහා ඔවුන් හට මාසික දීමනාවක් ද හිමිවේ. ගාල්ල දිස්ත්‍රික් වෙරළ තීරයට අදාළ සියලුම පොලිස් ස්ථාන, ත්‍රිවිධ හමුදාව, පළාත් පාලන ආයතන, ප්‍රාදේශීය ලේකම් කාර්යාල, යෞවන සමාජ සම්මේලනය, ආයෝජන මණ්ඩලය සහ හෝටල් හිමිකාරීත්වය ඇතුළු පෞද්ගලික අංශයේ ආයතනවල ශ්‍රම දායකත්වය යටතේ මෙම වැඩසටහන පැවැත්වේ.
ගාල්ල දෙවට පැවැති ප්‍රධාන වැඩසටහන සදහා රාජ්‍ය අමාත්‍යාංශ ලේකම් අනිල් විජේසිරි මහතා, සමුද්‍රීය ආරක්ෂණ අධිකාරියේ සභාපතිනි දර්ශනී ලහදුපුර මහත්මිය, ගාල්ල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති නුවන් වෙදසිංහ මහතා, ව්‍යාපාරික ප්‍රජාව සහ රාජ්‍ය නිලධාරීන් ඇතුළු විශාල පිරිසක් ද සහභාගි වී සිටියහ .
ගාල්ල සිරංගිකා ලොකුකරවිට