පරිසර ඇගයුම් වාර්තාවක් සකස් කිරීම සඳහා කිසිදු ආයතනයක් තමන්ගෙන් ලක්ෂ 300ක මුදලක් නොඉල්ලු බව කිරි ගව පාලන
සමාගම් නියෝජිතයෝ පවසති.
නාවලපිටිය ප්‍රදේශයේ කිරිගව පාලන මධ්‍යස්ථානයක් ඉදි කිරීම සඳහා අවශ්‍ය පරිසර ඇගයුම් වාර්තාවක් ලබා දීමට පරිසර අමාත්‍යාංශය හා මධ්‍යම පරිසර අධිකාරිය විසින් රුපියල් ලක්ෂ 300ක මුදලක් ඉල්ලා ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අළුත්ගමගේ මහතා විසින් කරන ලද චෝදනාව සම්බන්ධව කරුණු විමසීම සඳහා අදාල ආයතන සියල්ල කැඳවා කරුණු විමසීම අද (25දා) මධ්‍යම පරිසර අධිකාරියේ දී සිදු කෙරිණි.
පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ උපදෙස් පරිදි මෙම සාකච්ඡාව පැවැති අතර ඊට මධ්‍යම පරිසර අධිකාරිය, පරිසර අමාත්‍යාංශය හා අදාල කිරිගව පාලන මධ්‍යස්ථානය බාර ව කටයුතු කරන සමාගම්වල නියෝජිතයෝ ද සහභාගි වූහ.
මෙහිදී අදාල සාකච්ඡාව අරඹමින් පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා කරුණු දක්වමින් සඳහන් කළේ මෙම චෝදනාව පරිසර අමාත්‍යාංශයේ හා මධ්‍යම පරිසර අධිකාරියේ කීර්ති නාමයට බලවත් කැළලක් වන බැවින් ඒ සම්බන්ධ ව නිවැරදි කරුණු ප්‍රකාශ කරන ලෙසයි. පරිසර අමාත්‍යාංශය හෝ මධ්‍යම පරිසර අධිකාරියේ යම් නිලධාරියෙක් ඊට සම්බන්ධ නම් තරාතිරම නොබලා ඔවුන්ට එරෙහිව පියවර ගන්නා බව අමාත්‍යවරයා පැහැදිළි කළේය.
එහිදී අදහස් පළ කළ අදාල සමාගමේ නියෝජිතයින් කියා සිටියේ පරිසර අමාත්‍යාංශයේ හෝ මධ්‍යම පරිසර අධිකාරියේ කිසිදු නිලධාරියෙක් තමන්ගෙන් මුදල් නොඉල්ලු බවයි. එමෙන්ම කෘෂිකර්ම අමාත්‍යවරයා එවැනි ප්‍රකාශයක් සිදු කළ ද ඊට තමන්ගේ කිසිදු අනුදැනුමක් නොමැති බවද ඔවුහු ප්‍රකාශ කළහ.
නාවලපිටිය ප්‍ර දේශයේ අක්කර 860ක පමණ භූමි භාගයක මෙම කිරි ගව පාලන ගොවි බිම පිහිටුවීමට යෝජිත අතර සංවර්ධන ව්‍යාපෘති සඳහා ලබා දෙන පාරිසරික ඇගයුම් වාර්තා කිසිදු ප්‍රමාදයකින් තොරව කෙටිකාලයක් තුළ ලබා දෙන ලෙස පරිසර අමාත්‍යවරයා මධ්‍යම පරිසර අධිකාරියට උපදෙස් දුන්නේය.
එමෙන්ම පරිසර ඇගයුම් වාර්තා ලබා ගැනීම සඳහා මධ්‍යම පරිසර අධිකාරියේ ලියාපදිංචි ආයතන 63ක් පමණ ඇති බවත් මධ්‍යම පරිසර අධිකාරිය මගින් පරිසර වාර්තා ඉල්ලා සිටින අවස්ථාවන් හි දී මෙම නාම ලේඛණය අදාල ආයෝජකයින් වෙත ලබා දෙන බවත් පරිසර ඇගයුම් වාර්තාව ලබා දීම සඳහා අදාල ආයතනය තෝරා ගනු ලබන්නේ එම ආයෝජකයින්ගේ අභිමතය පරිදි බවත් මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති සිරිපාල අමරසිංහ මහතා පැවසීය.
කෙසේ වුවද මෙම සාකච්ඡාවේ දී පැවසීමට නොහැකි නම් දුරකථනයන් හෝ තමන්ට දැනුම් දෙන ලෙස අමාත්‍යවරයා එම සමාගම් නියෝජිතයින්ට දැනුම් දුන්නේය. කෙසේ වුවද මෙම සිද්ධිය සම්බන්ධව අදහස් පළ කළ අමාත්‍යවරයා පරිසර ඇගයුම් වාර්තා සකස් කිරීම පිළිබඳව විධිමත් වැඩ පිළිවෙළක් අරඹන ලෙස තමන් මධ්‍යම පරිසර අධිකාරියට උපදෙස් දුන් බව ද කීය.