ගල්කිරියාගම පොලිස් වසමේ රඹවැවේ දිය නෑමට ගිය පාසල් සිසුවෙකු කිඹුලෙකු විසින් ඇද ගෙන ගොස් අතුරුදහන්වීී සොයමින් සිටියදී එම සිසුවාගේ සිරුර අද (12 දා) හමු වූ බව ගල්කිරියාගම පොලිසිය පවසයි.
මෙලෙස අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ රඹවැව, මානේරුව, ගල්කිරියාගම ලිපිනයේ පදිංචිව සිටි බාලසූරියආරච්චිලාගේ ඉමල්ක ඉඳුනිල් නැමැති පහළොස් හැවිරිදි සිසුවෙකු බව පොලීසිය කියයි.
මෙම සිසුවා යහළුවන් දෙදෙනෙකු සමග ඊයේ (11 දා) පස්වරු 2ට පමණ නිවස ආසන්නයේ පිහිටි රඹවැවට දිය නෑම සඳහා ගොස් තිබූ බවත්, දිය නාමින් සිටි ඔහුගේ යහළුවන් දෙදෙනා සබන් ගෑම සඳහා සොරොව්ව අසල පඩි පෙළට ගොඩ වූ අවස්ථාවේදී, දිය නාමින් සිටි මෙම සිසුවා, කවුරුන් හෝ කකුලෙන් අදිනවා යැයි පවසමින් යහලුවන්ගෙන් උදව් ඉල්ලා අත දික් කර ඇති බව පොලීසිය කියයි.
යහළුවන් දෙදෙනා විසින් දියේ ගිලෙමින් සිටි තම යහළුවාට අත දෙනවාත් සමග එම සිසුවා දියයටට ඇදී ගිය බවත් වරක් උඩට පැමිණ පසුව දී ගිලී ගිය බවත් මරණකරුගේ යහළුවන් දෙදෙනා ලබාදී ඇති ප්රකාශ වල සටහන් වන බව පොලිසිය කියයි.
පසුව නාවික හමුදා නිලධාරීන් සහ පොලීසිය එක්ව එම දරුවා සොයා මෙහෙයුම් දියත් කළ අතර එම ස්ථානයට අඩි දහයක් පමණ දුර තිබී එම සිසුවාගේ සිරුර හමුවූ බවත් පොලිසිය පවසයි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් ගල්කිරියාගම පොලිස් ස්ථානාධිපති ප්රධාන පොලිස් පරීක්ෂක ආර්. එම්. සී රුක්මල් රත්නායක මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් වැඩි දුර පරීක්ෂණ සිදු කරති.