කෑම වේල පරක්කු වුයේ යැයි කියමින් වසර 13 ක් පුරා දිවා ආහාරය දුන් හෝටල් හිමියාගේ බිරිඳගේ හිසට මන්නයකින් පහර දී බරපතල තුවාල කළ යාචකයෙකු ලබන 30 වැනිදා දක්වා රිමාන්ඩ් බාරයේ රඳවා තැබීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා අද (16) නියම කළේය.
යාචකයාගේ මානසික තත්වය සම්බන්ධයෙන් මානසික වෛද්‍ය වාර්තාවක් කැඳවීමටද මහේස්ත්‍රාත්වරයා පොලිසියට නියම කළේය.
රිමාන්ඩ් බාරයට පත් කිරීමෙන් අනතුරුව මෙලෙස මානසික වෛද්‍ය වාර්තාවක් කැඳවීමට නියම කරන ලද්දේ මාර්ටින් ලියනගේ නමැති යාචකයකුගේය.
සිද්ධියට අදාළව කළ විමර්ශන වල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් ඉදිරිපත් කළ කෙසෙල්වත්ත පොලිසියේ නිලධාරීහු සැකකාර යාචකයාද අධිකරණයට ඉදිරිපත් කළේය.
සිද්ධියෙන් අගතියට පත් වු හෝටල් හිමියා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ මංජුල පතිරාජ මහතා කරුණු දක්වමින් කොළඹ රථ වාහන පොලීසිය අසල හෝටලයක් පවත්වාගෙනයන තම සේවාදායකයා වසර 13ක් පුරා විත්ති කූඩුවේ සිටින යාචකයාට කන්න බොන්න දී ඇතැයි කීය.
මහියංගණය පැත්තේ වැඩිහිටි නිවාසයකින් පැනලා ආපු මෙම සැකකාර යාචකයා හැමදාම හෝටලයට එන්නේ එකම වෙලාවට යැයිද මෙම සිද්ධිය වු දවසේ උයන්න පරක්කු වීම නිසා සැකකරුට කෑම පිඟාන දෙන්න විනාඩි 10 ක් විතර පරක්කු වී ඇතයිද කී නීතිඥ මංජුල පතිරාජ මහතා කෑම වේල දෙන්න පරක්කු වුනා කියලා උරණ වු සැකකරු මන්නයකින් තම සේවාදායකයාගේ බිරිඳගේ ඔලුවට පහරද ඇතැයිද කීය.
ඇගේ ඇසට උඩින් මන්න පහර වැදුන නිසා යන්තමින් ඇගේ ජීවිතේ බේර ඇතැයි කී නීතිඥ මංජුල පතිරාජ මහතා සැකකරුට ඇප දීම සම්බන්ධයෙන් තමන් සම්පූර්ණයෙන් විරුද්ධ යැයිද කීය.
ඉදිරිපත්වු කරුණු සලකා බැලීමෙන් අනතුරුව අදාළ නියෝග නිකුත් කළ මහේස්ත්‍රාත්වරයා සිද්ධියට අදාළළ කරන විමර්ශන වල ප්‍රගතිය මෙම පැමිණීල්ල යළි කැඳවන ලබන 30 වැනිදා අධිකරණයට දැනුම් දෙන ලෙස පොලිසියට නියම කළේය.