කැනඩා සිහින පෙන්වා කෝටි තුනක් වංචාකළ තිදෙනෙකු දැලේ
කැනඩාවේ රැකියා ලබාදෙන බව පවසා රුපියල් කෝටි 3ට ආසන්න මුදලක් වංචාකළ පුද්ගලයින් තිදෙනෙකු ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ නිළධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
කැනඩාවේ ඇති YR Immigration නම් ආයතනයක සම්බන්ධයක් ඇති බව පවසමින් මොවුන් දිවයිනේ විවිධ ප්‍රදේශවල පදිංචි පුද්ගලයින්ගෙන් රුපියල් කෝටි 3ට ආසන්න මුදලක් වංචා කර ඇති අතර, ඒ පිළිබඳව කාර්යාංශයට පැමිණිලි 9 ක් ලැබී තිබිණි.
ඒ අනුව මෙම වංචාවට සම්බන්ධ එක් සැකකරුවෙකු පසුගිය මාර්තු මාසයේදී අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු විසින් අනෙක් පුද්ගලයින්ගේ ගිණුම්වලට මුදල් බැර කර ඇති බවට විමර්ශනවලදී අනාවරණය වී තිබේ. සැකකරු කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදාහරින ලද අතර, අනෙක් සැකකරුවන් දෙදෙනා අප්‍රේල් මස 08 හා 09 යන දිනයන්හීදි විමර්ශන නිළධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා ලදී.
එම සැකකරුවන් දෙදෙනා ඊයේ දින (04/09) කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදාහැරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ.
1985 අංක 21 දරණ ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශ පනත අනුව විදේශ රැකියා සඳහා බඳවාගැනීම හා මුදල් අය කිරීම නීති විරෝධි වන අතර, ඒ සඳහා කාර්යාංශයේ බලපත්‍රලාභී විදේශ රැකියා නියෝජිතායතනවලට පමණක් අවසර හිමිවේ. එබැවින් බලපත්‍රලාභී විදේශ රැකියා නියෝජිතායතනයක් නොවන වෙනත් බාහිර පුද්ගලයින්ට මුදල් හෝ විදේශ ගමන් බලපත්‍ර ලබාදීමෙන් වලකින මෙන් කාර්යාංශය රැකියා අපේක්ෂිතයින්ගෙන් ඉල්ලා සිටියි. එසේම විදේශ රැකියාවක් ලබාදීමට යම් අයෙකුට මුදල් ලබාදීමට පෙර ඒ පිළිබඳව 1989 අංකය ඇමතීම මගින් කාර්යාංශයෙන් තොරතුරු විමසා බලන ලෙස කාර්යාංශය වැඩිදුරටත් ඉල්ලා සිටියි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
