කැනඩාවට බදු පැනවීම දින තුනකින් කල් දමයි
කැනඩාව සහ ඇමරිකා එක්සත් ජනපදය අතර වෙළඳ ගිවිසුමක් අවසන් කිරීමේ කටයුතු සිදුවෙමින් පවතින බැවින්, කැනේඩියානු භාණ්ඩ රැසක් මත නව තීරුබදු පැනවීම දින තුනකින් කල් දමන බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළේය.
"ලේඛන අවසන් කිරීමට යටත්ව කැනඩාව සහ ඇමරිකා එක්සත් ජනපදය අතර ගිවිසුමක් ඇති වී තිබීම හේතුවෙන්, හෙට උදෑසන ක්‍රියාත්මක වීමට නියමිතව තිබූ කැනඩාවට එරෙහි 50%ක තීරුබදු පැනවීම දින තුනක කාලයකට අත්හිටුවා තිබෙනවා," යනුවෙන්
ට්‍රම්ප් සමාජ මාධ්‍ය සටහනක් තබමින් පැවසීය.
ඩොලර් බිලියන 20කට (පවුම් බිලියන 14.8ක් හෝ කැනේඩියානු ඩොලර් බිලියන 28ක්) ආසන්න වටිනාකමකින් යුත් කැනේඩියානු ආනයන මත 50%ක බද්දක් ක්‍රියාත්මක වීමට නියමිතව තිබූ වේලාවට පැය දෙකකටත් අඩු කාලයකට පෙර මෙම නිවේදනය නිකුත්
කෙරිණි.
මෝටර් රථ මත ඇමරිකානු තීරුබදු පැනවීම සහ කැනඩාවේ පළාත් කිහිපයක් විසින් ඇමරිකානු මත්පැන් අලෙවිය තහනම් කිරීම ඇතුළු කරුණු කිහිපයක් සම්බන්ධයෙන් දෙපාර්ශ්වය අතර එකඟතාවක් නොමැති තත්ත්වයක් පැවතුණි.
ට්‍රම්ප් සහ කැනේඩියානු අගමැති මාක් කාර්නි මෙම සතිය තුළ දෙවරක් සාකච්ඡා කළ අතර, අගෝස්තු 19 දිනට නියමිතව තිබූ නව බද්ද පැනවීම පිළිබඳව ඇමරිකානු ජනාධිපතිවරයා තර්ජනය කිරීමෙන් පසු ජූලි මාසයේ සිට වෙළඳ සාකච්ඡාකරුවන් දැඩි
සාකච්ඡාවල නිරතව සිටියහ.
සිය සටහනේදී ට්‍රම්ප් වැඩිදුරටත් සඳහන් කළේ අවසන් වෙළඳ ගිවිසුම මගින් 'Keytone XL' නල මාර්ග ව්‍යාපෘතිය නැවත ආරම්භ කිරීමට ඉඩ ලැබිය හැකි බවයි. ඇල්බර්ටා (Alberta) ප්‍රාන්තය ඇමරිකාව හා සම්බන්ධ කරන මෙම තෙල් නල මාර්ගය,
ඔබාමා සහ බයිඩන් යන පරිපාලන දෙකම විසින්ම අවහිර කර තිබුණි.
පරිසරවේදීන් සහ ආදිවාසී කණ්ඩායම් දිගු කලක් තිස්සේ මෙම නල මාර්ගයට විරෝධය පළ කර ඇතත්, දිනකට තෙල් බැරල් 830,000ක් ප්‍රවාහනය කළ හැකි මෙම ව්‍යාපෘතිය නැවත ආරම්භ කිරීමට තමන් කැමති බව ට්‍රම්ප් අවස්ථා කිහිපයකදීම ප්‍රකාශ කර තිබේ.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
