කාබනික පොහොර භාවිතයට ගොවිජනතාව යොමු කිරීමේදී සැලැස්මක් තිබිය යුතු බවට පිළිගන්නා බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ලෙස මෙහි අඩු පාඩු පෙන්වා දෙනුවේ මෙම වැඩපිළිවෙල කඩාකප්පල් කිරීමට නොවන බවත් පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
පාර්ලිමේන්තුවේ අද පැවති පොහොර පිළිබඳ සභාව කල්තැබීමේ විවාදයට එක්වෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් පළ කළ අමාත්‍ය මහින්ද අමරවීර මහතා,
කාබනික පොහොර භාවිතය පිළිබඳ ජනාධිපතිවරයා ගත් තීරණය ගැන අපි වැරැද්දක දකින්නේ නෑ. ඒ තීරණය ගන්න එතුමාගේ ප්‍රතිපත්ති ප්රකාශනයේම සඳහන් කරලා තිබුනා. ඒ සඳහා වෙනම අමාත්‍යාංශයක් හැදුවා. අපි ඉතාමත් පැහැදිලිව කියන්න ඔ්නී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විදියටත් පෞද්ගලිකවත් මේ කාබනික ගොවිතැනට කිසිදු ආකාරයකට විරුද්දත්වයක් නෑ. අපි මේක ක්‍රියාවෙන්ම පටන් ගත්ත කට්ටිය. මේකට යම් කැපවීමක් කරන්න ඔ්නී. අපි පිළිගන්නවා මේකට සැලැස්මක් තිබෙන්න ඔ්නී. මහන්සි වුනාට හොඳ ප්‍රතිපලයක් අත්වුනා වගේම වසවිස නැති හොද ආහාර වේලක් සකස් කර ගන්න පුලුවන්. කිසිදු වෙලාවක මේක කඩාකප්පල් කරන්නේ නෑ. මේක ක්‍රියාත්මක කරන්න සහය දෙනවා. ඒත් අපි අඩුපාඩු පෙන්වනවා. අපි මේ ආණ්ඩුවේ ඉන්නවා. නමුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ ආණ්ඩුවේ ප්‍රධාන හවුල්කාර පක්ෂයක් ලෙස අපි පක්ෂයේ කතා කරනවා. අපි ජනාධිපතිවරයා කිව්වා යම් යම් අර්බුද ඇතිවෙන්න ඉඩ තිබෙනවා කියලා. එතුමා ඒක පිළිගත්තා. ප්‍රායෝගික ක්‍රියාත්මක කරන්න යද්දි යම් යම් ගැටලු එනවා. නැවත කියන්නේ එතුමා හොද පරමාර්තයකින් තමයි මේක ආරම්භ කළේ. දැන් සමහර අය කිව්වා ඩොලර් නැති ප්‍රශ්නයක් නිසා තමයි මේ කටයුත්තට ප්‍රවේශ වුනේ කියලා. නමුත් අද ඒ ප්‍රමාණයෙන්ම සල්ලි යනවා. යනුවෙන්ද සඳහන් කළේය.