ක්‍රීඩකයන් කෙරෙහි තැබූ විශ්වාසය අත් හරින්න එපා
මෙවර ලෝක කුසලාන තරගාවලිය බලාපොරොත්තු වූ අයුරින් අවසන් නොවූ බවත් ක්‍රීඩකයන් කෙරෙහි තබා ඇති විශ්වාසය අත් නොහරින ලෙසත් ශ්‍රී ලංකා විස්සයි20 නායක දසුන් ශානක පවසයි. සිය ෆේස්බුක් ගිණුමෙන් සටහනක් තබමින් ඔහු මේ බව කියයි.
දසුන් සිය ෆේස්බුක් ගිණුමේ තබා තිබූ සටහන
"මෙම ලෝක කුසලාන තරගාවලිය අප බලාපොරොත්තු වූ අයුරින් අවසන් නොවීම පිළිබඳව ඔබ සැම සේම මම ද දැඩි ලෙස කණගාටුවට පත්ව සිටිමි. තරගාවලියට පෙර එංගලන්තය සමඟ පැවති තරගාවලිය පරාජය වීම ඇතුළු විවිධ අභියෝග රැසකට අපට මුහුණ දීමට සිදු වුවද, සත්කාරක රටක් ලෙස ඉතා පැහැදිලි සැලසුම් සහ දැඩි විශ්වාසයක් ඇතිව අපි මෙම තරගාවලියට අවතීර්ණ වීමු. අපට එම තත්ත්වය වෙනස් කරමින් තරගාවලියේ ඉදිරියටම යා හැකි බව මම සැබවින්ම විශ්වාස කළෙමි.
මා කෙරෙහි සහ කණ්ඩායම කෙරෙහි ඔබ තුළ ඇති බලාපොරොත්තු කඩවීම, වේදනාව සහ කෝපය මම හොඳින්ම දනිමි. මා ඔබෙන් ඉතා නිහතමානීව ඉල්ලා සිටින්නේ, ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව හෝ අපගේ ක්‍රිකට් උරුමය ඉදිරියට ගෙන යාමට කැපවීමෙන් කටයුතු කරන ක්‍රීඩකයින් කෙරෙහි තැබූ විශ්වාසය අත් නොහරින ලෙසයි.
මිලියන සංඛ්‍යාත ජනතාවක් ජයග්‍රහණයේ සිහින දකිමින් සිටිනා මොහොතක පරාජය දරා ගැනීම කිසිසේත් පහසු නැත. මේ මොහොතේ එල්ල වන සියලු විවේචන සහ අදහස් මම නිහතමානීව පිළිගන්නා අතර, ඒ සියල්ල අපේ රටේ ක්‍රීඩාව කෙරෙහි ඔබ තුළ ඇති දැඩි ලෙන්ගතුකම නිසාම පැන නගින බව මම දනිමි. කුමන තත්ත්වයක් යටතේ වුවද, මා සැමවිටම මාගේ උපරිමය රට වෙනුවෙන් ලබා දීමට පසුබට නොවෙමි.
මා සැමදා ක්‍රීඩා කළේ එකම අරමුණක් වෙනුවෙන් පමණි. ඒ ශ්‍රී ලංකාව වෙනුවෙනි.
ඔබ බලාපොරොත්තු වූ ජයග්‍රහණය ලබා දීමට නොහැකි වීම පිළිබඳව මම මාගේ කණගාටුව ප්‍රකාශ කරමි. අප කණ්ඩායම සමග, මා සමඟ සැමදා රැඳී සිටීම පිළිබඳව ශ්‍රී ලාංකීය ඔබ සැමට ස්තූතියි."
-දසුන් ශානක-
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
