හපුතලේ ඉදල්ගස්හින්න අතර දී අද 8 රාත්‍රී දුම්රිය මාර්ගයට දැවැන්ත ගසක් කඩා වැටී අවහිර වී තිබීම ක්ෂණික ව ක්‍රියාත්මකවූ පුද්ගලයකු උපක්රමශීලීව දැනුම් දීම නිසා සිදුවීමට ගිය විශාල දුම්රිය අනතුරක් වළක්වා ගැනීමට හැකි වූ බව කොළඹ සිට බදුල්ල බලා ධාවනය වෙමින් තිබූ විශේෂ දුම්රියේ රියදුරු සහයක එම් බී නිරෝෂන් මහතා පැවසීය.
මෙම අනතුරුදායක තත්ත්වය දැනුම් දීම සඳහා තම ජීවිතය ගැන නොතකා පුද්ගලයකු විදුලි පන්දමක් ද රැගෙන දුම්රිය මාර්ගයට පැමිණ නවතන ලෙස සංඥා කළ බැවින් දුම්රිය නවතා ගැනීමට හැකි වූ බව ද හෙතෙම පැවසීය.
මෙසේ සිදුවීමට ගිය විශාල දුම්රිය අනතුරක් වලක්වා ගැනීමට සහය වී ඇත්තේ වතු මුරකරුවෙකු වන එච් .එම්. විජේරත්න මහතා ය.
දුම්රිය රියදුරු සහයක නිරෝෂන් මහතා මෙසේ ද කීවේය.
"ඉදල්ගස්හින්න පසු කරලා අපි කෝච්චිය ආවා ටිකදුරක් එනවිට මනුස්සයෙක් ටෝච් එකක් අරන් ඉදිරිපිටට දුවගෙන ආවා. ඒ මනුස්සයා තම ජීවිතය ගැන වත් නොසිතා තමයි ඉදිරියට දුවගෙන ආවේ. මම ඒ බව දැකලා මගේ රියදුරු මහතාට කීවා. මොකක් හරි අනතුරක් වගේ කියලා.
ඒත් එක්කම රියදුරු මහතා තිරිංග ක්‍රියාත්මක කරලා දුම්රිය නවත්ත ගත්තා. මේ පුද්ගලයා අත් දෙක උස්සගෙන කෑගහගෙන ඇවිත් ගසක් කඩා වැටී තිබීම අපට දෙන දුන්නා. පුංචි දුරකින් අපි කෝච්චිය නවත්වා ගත්තේ. බැරි වෙලාවත් මේ මහත්මයි මේ බව දැනුම් දුන්නේ නැත්නම් විශාල අනතුරක් සිදු වෙනවා. මේ අනතුරු වළක්වා ගැනීමට සහය වුනු ඒ මහතාට අපි ස්තුතිවන්ත වෙනවා." යැයි ද පැවසීය.
යුද හමුදා නිලධාරීන්ගේ ද සහය ඇතිව දුම්රිය මාර්ගය යථා තත්ත්වයට පත් කර ගැනීමට අවශ්‍ය කටයුතු කළ බව දුම්රිය දෙපාර්තමේන්තුවෙි නිලධාරියකු පැවසීය. රාත්‍රී කොළඹ බලා යන තැපැල් දුම්රිය ද පැය කිහිපයක් මේ නිසා ප්‍රමාද විය.
හල්දුම්මුල්ල සමන් පාලිත නානායක්කාර