කරාපිටිය ශික්ෂණ රෝහලේ වාහන සංචිතයේ ඇති කිසිම රථයකට ඉන්ධන නොමැති බව එහි ප්‍රවාහන අංශයේ සේවකයෝ පවසති.
හදිසි රෝගියකු ගෙනඒමට හෝ වෙනත් රෝහලකට මාරුකර යැවීමට ඇති ගිලන්රථ 15 ම මේ වනවිට තෙල් නොමැතිවීම නිසා ගාල්කර තිබේ. ඒ අතර ඖෂධ ප්‍රවාහනය කරනු ලබන ලොරි 02ක් ද ඩීසල් නොමැතිව නතරකර දමා ඇත.රෝහලේ විවිධ අවශ්‍යතා සඳහා ධාවනය කරනු ලබන කැබ් රථ 04ක් සහ පෙට්රල්වලින් ධාවන යවන වෑන් රථයක් ද මෙලෙස නතරකර දමා තිබේ.
රෝහලේ සේවකයන් පවසන්නේ අත්‍යාවශ්‍ය සේවා රථවලට පමණක් ඉන්ධන ලබාදෙන බව පැවසුව ද ඉන්ධන පිරවුම්හල් වෙත ගිය විට එලෙස ඉන්ධන නොලැබෙන බවයි.
පොලිසියත්, හමුදාවත් බලා සිටිය දී ඉන්ධන පිරවුම්හල් වල සිටින වෙනත් පුද්ගලයන් විසින් තම වාහන හරවා යවන බව ද ඔවුහු කියති. මේ වනවිට කිසිදු හදිසි අවශ්‍යතාවකට ප්‍රයෝජන ගැනීමට හැකි මට්ටමේ රථයක් රෝහල සතුව නොමැති බවද ඔවුහු කියති.
මේ පිළිබඳ රෝහල් අධ්යක්ෂ කාර්යාලයෙන් විමසූ විට එහි නිලධාරියකු කියා සිටියේ ඉන්ධන නොමැතිවීම නිසා දැඩි අර්බුදයක් ඇතිවී තිබෙන බවයි. මේ හේතුවෙන් තෙල් ලබාගැනීම සඳහා ඉන්ධන පිරවුම්හල් සමඟ සාකච්ඡා කරමින් සිටින බව ද ඔහු කියා සිටියේය.
ගාල්ල සිරංගිකා ලොකුකරවිට