මධ්‍යම අධිවේගී මාර්ගයේ පළවෙනි පියවරේ ඉදිකිරීම් කටයුතු සිදු කෙරෙන දාරළුව ප්‍රදේශයේ තිබී කපා වළ දමා ඇති බව කියන, වඳවී යෑමේ තර්ජනයට ලක් වීම හේතුවෙන් රතු දත්ත පොතේ සඳහන් වී ඇති පඬු කරඳ (කෲඩියා සෙලනිකා) ගස පරීක්ෂණයක් සඳහා මේ මස 28 වැනිදා ගම්පහ වැඩ බලන මහේස්ත්‍රාත් ඉන්ද්‍රාණි අත්තනායක මහත්මිය ඉදිරියේ ගොඩ ගැනීමටපියවර ගන්නා ලෙස ගම්පහ අතිරේක මහේස්ත්‍රාත් ෆාතිමා සහානා මහ්ජි මහත්මිය අද (24දා) පස්වරුවේ ගම්පහ දිසා වන නිලධාරී වරයාට නියෝග කළාය.
එම ගස ගොඩ ගන්නා තුරු,ගස වළ දමා ඇති ප්‍රදේශයට අධිකරණ නියෝගයකට අනුව යොදවා ඇති පොලිස් ආරක්ෂාව ඒ අයුරින්ම පවත්වා ගෙන යන ලෙසට බෙම්මුල්ල පොලීසියට දැනුම් දෙන ලෙසටද අධිකරණයේ රෙජිස්ට්රාර්වරයාට නියෝග කෙරිණ.
ගම්පහ දිසා වන කාර්යාලය මගින් ඒ සම්බන්ධව ගොනු කර ඇති බී වාර්තාව ඊයේ (24දා) පෙරවරුවේනැවත කැඳවූ අවස්ථාවේ පුරාවස්තු සුරැකීමේ සංවිධානයේ සභාපති උඩස්ගිරියේ සමිත හිමියන් වෙනුවෙන් පෙනී සිටිනීතිඥ මණ්ඩලයේ නීතිඥ මහත්මා මහත්මීහු කරුණු දක්වමින් මෙය අනීතිකව හොර රහසේ කපා වළ දමා ඇති බවත්, ඒ නිසාම වන නිලධාරීන් මෙම බී වාර්තාව අධිකරණයට ඉදිරිපත් කර ඇති නමුත් අද එම වන නිලධාරීන් මේ පිළිබඳව නිවැරදි ප්‍රකාශයක් නොකිරීම බලවත් සැකයට භාජනය වී ඇති බවත් කියා සිටියහ.
මේ සිද්ධිය පිළිබඳව කටයුතු කිරීමට තමන්ට බලයක් නැති බවත්, බලය ඇත්තේ වන ජීවී දෙපාර්තමේන්තුවට බවත්, වන නිලධාරීන් ප්‍රකාශ කරනවා නම් ඔවුන් අධිකරණයට 2405/2023 අංකය යටතේ බී වාර්තාවක් මගින් කරුණු වාර්තා කළේ කුමක් නිසා දැයිද ප්‍රශ්න කෙරිණ. මෙම වන නිලධාරීන් අද ඔවුන්ට එල්ල වී ඇති බලපෑම් හේතුවෙන් විවෘත අධිකරණය ඉදිරියට පැමිණ විවිධ ප්‍රකාශ කරනවා යැයිද නීතීඥ වරු වැඩිදුරටත් කරුණු දක්වමින් කියා සිටියහ.
මෙහිදී මධ්‍යම අධිවේගී මාර්ගයේ පළවෙනි පියවරේ ව්‍යාපෘති ඉංජිනේරු අංශය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ රාජිකා ද සිල්වා මහත්මිය කරුණු දක්වමින්කැබිනට් මණ්ඩලයේ තීරණයකට අනුව ගස ඉවත් කර තිබෙන බවත්, ඒ තත්ත්වය යටතේ ගස ගොඩ ගැනීමේ අවශ්‍යතාවක් නැති බවත් කියා සිටියාය.
මෙහිදී අගතියට පත් පාර්ශ්වයේ නීතිඥ මහත්මා මහත්මීන්, මෙය අපරාධයක් වන හෙයින් ඉදිරි පරීක්ෂණ සඳහා ගස ගොඩ ගත යුතු බවට කරුණු දැක්වීම හේතුවෙන් නඩුව පසුවට කල් තැබිණ.
මෙය අද පස්වරුවේ නැවත කැඳවූ අවස්ථාවේ දෙපාර්ශ්වයේ කරුණු දැක්වීම්වලින් අනතුරුව මෙය පරීක්ෂණ කටයුතු සඳහා ගොඩ ගැනීමට අවශ්‍ය සහාය ලබා දිය හැකි දැයි මහේස්ත්‍රාත්වරිය වන නිලධාරීන් ගෙන් ප්‍රශ්න කළාය.