රෝගයකින් පීඩා විඳි පුද්ගලයකු තම නිවසට රැගෙනවිත් ප්‍රතිකාර කර සුව කල විශ්‍රාමික මහාචාර්යවරයෙකුගේ නිවසේ තිබූ, මුදල් රුපියල් ලක්ෂ 15 ක් සහ ලක්ෂ 5ක් වටිනා රත්රන් භාණ්ඩ සොරකම් කර, එම පුද්ගලයා ( රෝගියා) නිවසින් පලා ගොස් ඇති බව අනුරාධපුර මූලස්ථාන පොලීසිය පවසයි.
පැල්වත්ත ප්‍රදේශයේ ස්ථිර පදිංචිකරුවෙකු වන පැමිණිලිකාර විශ්‍රාමික මහාචාර්යවරයා සාලියපුර ජයන්ති ග්‍රාමයේ නිවසක දැනට තාවකාලිකව තනිව පදිංචිව සිටින බවත් මෙම සොරකම, එම නිවසේදී සිදුව ඇති බව පොලීසිය කියයි.
මීට මාස දෙකකට පමණ පෙර මහාචාර්යවරයා උදරාබාධයක් සඳහා ප්‍රතිකාර ලබා ගැනීමට, ශ්‍රාවස්තිපුර ප්‍රදේශයේ දේශීය වෛද්‍යවරයෙකු හමුවීමට ගිය අවස්ථාවේ දී අදාල සැකකරු මහනුවර සිට සමේ රෝගයකට ප්‍රතිකාර ලබා ගැනීමට එම වෛද්‍යවරයා හමුවීමට පැමිණ සිට ඇතැයි පොලීසිය සඳහන් කළේය.
මෙහිදී විශ්‍රාමික මහාචාර්යවරයා සහ එම සැකකරු සමග කතා බහක නිරත වීමෙන් අනතුරුව, එය සුහදතාවයක් දක්වා වර්ධනය වී, නොමිලේ ප්‍රතිකාර කර රෝගය සුව කර දීම සඳහා මහාචාර්යවරයා විසින් එම පුද්ගලයා සාලියපුර ප්‍රදේශයේ නිවසට රැගෙන ගොස් ඇති බව පොලීසිය අනාවරණය කරගෙන තිබුණි
ඉකුත් 30 දා අවශ්‍යතාවක් සඳහා විශ්‍රාමික මහාචාර්යවරයා නිවසින් බැහැරව ගොස් පැමිණ බැලීමේදී සැකකරු නිවසේ නොමැති වීම නිසා සොයා බැලීමේදී නිවසේ අල්මාරියේ දමා තිබූ මුදල් රුපියල් ලක්ෂ 15ක්, ලක්ෂ 3ක් වටිනා රන් අත් පළඳනාවක්, ලක්ෂ 2ක් වටිනා රන් මුදුවක් නොමැති බව දැන මෙම පැමිණිල්ල සිදු කර ඇති බව පොලීසිය කියයි.
එම නිවසේ නතර කර ගෙන ප්‍රතිකාර කල සැකකරුගේ ලිපිනය මහාචාර්යවරයා නොදන්නා බව ද පොලීසිය වැඩි දුරටත් සඳහන් කළේය. මෙම සොරකමට සම්බන්ධ සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා අනුරාධපුර පොලිසියේ නිලධාරීහු පිරිසක් වැඩි දුර විමර්ශන සිදු කරති.