කන්දකුලියේ ධීවරයින් පිරිසක් නූලෙන් බේරෙයි
කන්දකුලිය ධීවර තොටුපොළින් මුහුදු ගොස් අතරමංව සිටි ධීවරයන් තිදෙනා හා යාත්රාව දින දෙකකට පසු සොයා ගැනීමට මොවුන් සොයා ගිය කන්දකුලිය ධීවර යාත්රා වලට හමුව ගොඩබිමට පසුගිය (08දා) සවස රැගෙන ඒම සිදුව තිබිණි.
ඩබ්ලියු.නොයල් ඇන්ටනී, සුදේෂ් සුසන්ත, ප්රසාද් නිරංජන් නැමති 25 -37 හැවිරිදි වියේ පසුවන තිදෙනෙක් මෙසේ සොයා ගනු ලැබ තිබේ.
මොවුන් පසුගිය (06දා) දහවල් කන්දකුලිය ධීවර තොටුපොළින් විහාර දුව හා හංසිළු පුතා නැමති යාත්රා වලින් බිලී කොකු මසුන් පිටත්ව ගොස් තිබිණි.
එසේ රැකියාවට ගොස් සිටියදී මෙම පිරිස රැකියාවේ නිරත වූ යාත්රාවේ ඇතිවූ කාර්මික දෝෂයකින් පසු නැවත ගොඩබිමට ඒමට නොහැකිව අසරණව සයුර මැද රැඳී සිටි බව කියයි.
එහිදී මෙම ධීවරයින්ට ඉන්දියන් යාත්රාවකින් ආහාර හා ජලය ලබා දෙමින් ආරක්ෂාව සලසා ඇති බව කියයි.
කෙසේ වෙතත් මෙම පිරිස අතුරුදන් වීම පිළිබඳ යාත්රාවේ හිමිකරු වන දීපාල් නිලන්ත මහතා විසින් පසුගිය 07දා කල්පිටිය පොලීසියට දැනුවත් ඒ පිළිබඳ පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබිණි.
ඒ සමගම මෙම යාත්රා හිමිකරු නාවික හමුදාව දැනුවත් කිරීමටද කටයුතු කර තිබිණි.
කෙසේ වෙතත් මෙම ධීවරයන් පිළිබඳ කිසිදු තොරතුරක් නොමැතිවීම හේතුවෙන් යාත්රා හිමිකරු විසින් 7 දින රාත්රියේ එන්ජින් 40 ධාරීතාවකින් යුත් යාත්රා තුනක් මහ සයුරට යවා තිබිණි.
ඒ අනුව අතුරුදන් වූ ධීවරයන් සොයා ගිය යාත්රා වලට පසුගිය (08දා) උදෑසන මෙම ධීවරයින් හා යාත්රාව සොයා ගැනීමට හැකිව තිබිණි.
ඒ වනවිට මෙම ධීවරයන්ට ආරක්ෂාව ලබා දෙමින් තිබූ ඉන්දියන් යාත්රාව විසින් ආහාර හා ජලය සපයමින් මෙම පිරිසට නිසි රැකවරණය ලබාදී තිබූ බව කියයි.
පසුව මෙම ධීවරයන් සොයා ගිය යාත්රාවලින් නැවත මෙම පිරිස අමතරව රැගෙන ගිය එන්ජිමක් සවිකර නැවත (08දා) සවස වනවිට කන්දකුලිය ධීවර තොටුපොළට රැගෙන ඒමට හැකිවූ බව කියයි.


පුත්තලම හිරාන් ප්රියංකර ජයසිංහ /කල්පිටිය - කුමාරි කොට්ටහච්චි
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
