2026.07.29 වන දින රාත්රී 11.10 ට පමණ මීගමුව - මිනුවන්ගොඩ මාර්ගයේ 2 කණුවත් 3 කණුවත් අතර බොලවලාන ප්රදේශයේදී මාර්ගය හරහා හරවමින් තිබූ කන්ටේනර් රථයක ගැටී මීගමුව දෙසට වේගයෙන් ධාවනය කරමින් තිබූ යතුරුපැදි යුගලක ගමන්ගත් පැදිකරුවන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්විය.
කටාන පොලිස් ස්ථානයේ නිලධාරීන් කන්ටේනර් රථයේ රියදුරු අත්අඩංගුවට ගත් අතර අනතුර සිදුවූ අවස්ථාවේ එම ස්ථානයට රැස්වූ කිහිපදෙනෙකු ප්රකෝපකාරීව හැසිරී කන්ටේනර් රථයට ගිනි තබා අලාභ හානි සිදුකර තිබේ.
කන්ටේනර් රථයට අනර්ථය සිදුකිරීම සම්බන්ධව විමර්ශන සිදුකළ කටාන පොලිස් ස්ථානය අනාවරණය කරගත් තොරතුරු අනුව 2026.07.30 වන දින සවස ගිනිතැබීමට සම්බන්ධ සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. එම ප්රදේශයේ අතහැර ගොස් තිබූ තවත් යතුරුපැදියක්ද සොයාගෙන පොලිස් භාරයට ගෙන තිබේ.
අත්අඩංගුවේ පසුවන සැකකරුවන් අවුරුදු 20,25 සහ 26 වයසේ පසුවන මීගමුව දාගොන්න හා කිඹුලපිටිය ප්රදේශයේ පදිංචිකරුවන්ය.
අනතුර සිදුවූ අවට CCTV දර්ශන ඇතුළු තොරතුරු මගින් කන්ටේනර් රථයට අනර්ථය සිදුකිරීමට සම්බන්ධ සියළු සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා තවදුරටත් විමර්ශන සිදුකෙරේ.
අනතුරින් ජීවිතක්ෂයට පත්වූයේ අවුරුදු 18 සහ 20 වයසේ පසුවූ මීගමුව දාගොන්න ප්රදේශයේම පදිංචිකරුවන් දෙදෙනෙකි.