කතරගම බස්නායක නිලමේ ලෙස කතරගම දේවාලයේ පුද පඬුරු උපයෝගී කරගෙන ප්‍රජා කටයුතු කළේ ඒ මගින් නැවත බස්නායක නිලමේ ඡන්දයට ඉදිරිපත් වීමේ අපේක්ෂාවෙන් නොවන බවත් දෙවියන්ට පින් ලබාදිමට බවත් ප්‍රජා සංවර්ධන කටයුතු පෙන්වා දේශපාලනයට ඇවිත් පව් පුරවා ගන්න තරම් තමා බෙළෙඳ නොවන බවත් රුහුණු මහා කතරගම දේවාලයේ බස්නායක නිලමේ ඩිෂාන් ගුණසේකර මහතා සඳහන් කරයි. බස්නායක නිලමේ ඩිෂාන් ගුණසේකර මහතාගේ නිල මැදුරේ පැවති හමුවකදී මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලට පිළිතරු දෙමින් ඔහු එසේ කීය.
ලබන සැප්තැම්බර් 25 වැනි දින ඩිෂාන් ගුණසේකර මහතා ගේ නිල කාලය අවසන් වන අතර නව බස්නායක නිලමේ වරයකු තෝරා පත් කිරිමේ බලය බෞද්ධ කටයුතු කොමසාරිස් ජෙනරාල් වරයාට පැවරෙයි.
වැඩි දුරටත් අදහස් දැක් වු ඩිෂාන් ගුණසේකර මහතා මෙසේ සඳහන් කළේය.
“මම 2020 දි බස්නායක නිලමේ ලෙස පත් වූයේ උතුම් කතරගම දෙවියන්ට පින් ලැබෙන දේවල් කරන්න. මගේ කාලය වසර 05 ක් වුවත් පැවති කොරෝනා වසංගතය, රටේ පැවති ආර්ථික අරගලය හමුවේ වසර 03ක කාලයක් තමයි වැඩ කරන්න හැකි වුණේ. මම කරපු සේවා මුළු රටේම ජනතාව දන්නවා. මට කවුරුත් ආශිර්වාද කරනවා.
කරපු වැඩ ගැන සකුටු වෙනවා. මම නැවත බස්නායක නිලවරණයකට එන්නේ නැහැ. දේශපාලඥයෝ මෙන් මම කරපු වැඩ කිය කියා මම හැසිරෙන්නේ නැහැ. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව අනුව බස්නායක නිලවරණයක් තියලා නව බස්නායක නිලමේ වරයකු තොරා ගැනිමේ අයිතිය රජයටයි තියෙන්නේ .
රට ඉදිරියට හොඳ වෙනවා. කතරගම සංවර්ධන විමත් සමග විදෙස් සංචාරකයන් වැඩි වශයෙන් එනවා. ජනාධිපති තුමා හොඳ ක්‍රමවේදයකට අනුව රට පාලනය කරනවා. ඉදිරියට කතරගම පමණක් නෙවෙයි. රටම ලස්සන වෙනවා .
මම දෙවිනුවර කතරගම බස්නායක නිලමේ ලෙස සේවය කළා. දෙවියන් වෙනුවෙන් කළ හැකි දේවල් මම ඉටුකළා. පත් වන බස්නායක නිලමේ තමාට පහසු වන පරිදි අලුත් ක්‍රමවේදයකට කරගෙන යා හැකි ලෙස පරිපාලනය සකස් කළා.මට කතරගමට පයින් ඇවිත් දෙවියන් වැඳලා යන්න පුලුවන් ලෙස කතරගම ජනතාවගේ පැසසුමට මා ලක් වුණා.
මගේ කලයෙහිදී මම කපුමහතුන්ගේ සහය මෙන්ම කතරගම රජයේ ආයතන, දේශපාලන අධිකාරිය සමග සහයෝගයෙන් සේවය කළා.මම සෑම පක්ෂයට අදාළ දේශපාලකයන් සමගම කටයුතු කළා.මේ වන විට මට නැවත දේවාලයේ බස්නායක නිලමේ ලෙස එන්න කියා දහස් ගණනක් ජනතාව ඉල්ලීමි කරනවා.
මම ගැන ඇතැම් පිරිස් බිය වෙලා ඉන්නවා. දේශපාලනයට එයි කියලා.එය කවදත් වෙන්නේ නැහැ. මම පින් කරනවා මිස පව් කරන්න කැමති නෑ.නව රජය වැඩ කළ හැකි නිලමේ වරයකු පත් කරයි . එම නිලමේ තුමාට සහයෝගය ලබා දිම තමයි සෑම අංශයකම අය කළ යුත්තේ."