ලියාපදිංචි නොකර ගෙන්වන ලද ඖෂධ ගබඩා කිරීම සහ බලපත්ර නොමැතිව ඔසු සැළක් පවත්වාගෙන යෑමේ චෝදනාවන්ට වරද පිළිගත් කඩවත නගරයේ ඔසුසැල් තුනකට රුපියල් ලක්ෂ 03ක දඩ නියම කළ මහර මහෙස්ත්රාත් කාංචනා ද සිල්වා මහත්මිය මේ සම්බන්ධයෙන් ජනතාවගෙන් සමාව අයැදමින් පුවත්පත් දැන්වීම් පළ කරන ලෙස විත්තිකරුවන්ට නියම කළාය.
චෝදනාවන්ට වරද පිළිගැනීම නිසා මෙලෙස දඬුවම් නියම වුයේ කඩවත නගරයේ පවත්වාගෙන යන ‘කැන්ඩි සුපර් ෆාමසි’ ඖෂධවේදී රුවන් කුමාරසිරි යාපා, ‘ශාන්ත මේරීස් ෆාමසි’ ප්රසන්න මනෝජ් කරුණාතිලක සහ ‘නිව් මිහිකත ෆාමසි’ හිමිකරු වන ලලනි අනෝජා තිලකරත්න නමැති මහත්ම මහත්මීන්ටය.
2024 නොවැම්බර් 25 වැනිදා හෝ ඊට ආසන්න දිනයක කඩවතදී ලියාපදිංචි නොකර ගෙන්වන ලද ඖෂධ ගබඩා කර ඇති බවට ‘කැන්ඩි සුපර් ෆාමසි’ ඖෂධවේදී රුවන් කුමාරසිරි යාපා, ‘ශාන්ත මේරීස් ෆාමසි’ ප්රසන්න මනෝජ් කරුණාතිලක නමැති මහත්වරුන්ට එරෙහිවද ජාතික ඖෂධ නියාමන අධිකාරියේ බලපත්රයක් නෙමැතිව ඔසු සැළක් පවත්වාගෙන යන බවට ‘නිව් මිහිකත ෆාමසි’ හිමිකරු වන ලලනි අනෝජා තිලකරත්න මහත්මියට එරෙහිවද ජාතික ඖෂධ නියාමන අධිකාරිය විසින් නඩු පවරා තිබිණී.
ජාතික ඖෂධ නියාමන අධිකාරියට ලැබුණු පැමිණිලි අනුව එහි ප්රධාන ආහාර හා ඖෂධ පරීක්ෂක නෙවිල් වික්රමසිංහ මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් කළ වැටලීම් වලදී හෙළි වු තොරතුරු මත විත්තිකරුවන්ට එරෙහිව නඩු පවරා තිබිණී.
නඩු කැඳවු අවස්ථාවේදී විත්තිකරුවෝ තමන්ට එරෙහි චෝදනාවන්ට වරද පිළිගත් අතර ඒ අනුව විත්තිකරුවන්ට රුපියල් ලක්ෂයය බැගින් දඩ නියම කර ජනතාවගෙන් සමාව අයැදමින් පුවත්පත් දැන්වීම් පළ කරන ලෙස නියම කළ මහෙස්ත්රාත්වරිය මෙම නඩු යළි කැඳවන සැප්තැම්බර් 22 වැනිදා කොන්දේසි සම්පුර්ණ කර අධිකරණයට වාර්තා කිරීමට නියම කළාය.