වර්තමානයේ පවතින සමහර ඖෂධවල හිඟයට හේතුව ගෙවුණු 2024 වසරේ නියමිත පරිදි, නියමිත කාලසීමාව තුළ ඖෂධ මිලදී ගැනීම සම්බන්ධව තීන්දු, තීරණ නිසියාකාරව නොගැනීම බවත්, එයට හොඳම උදාහරණයක් ලෙස 2025 මෙම වර්ෂයට අදාළව ඖෂධ මිල දී ගැනීම සඳහා 2024 වසරේ පළවෙනි මාස පහේ දී ම ටෙන්ඩර් කර ඇත්තේ ඖෂධ වර්ග 67 ක් සඳහා පමණක් වීම ම ඉතා පැහැදිළි කරුණක් යැයි සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසී ය. අමාත්‍යවරයා මෙම කරුණු අනාවරණය කළේ ඊයේ (24) කොළඹ පැවති උත්සවයකට එක්වෙමිණි.
පසුගිය වසර කිහිපයක් තුළ ප්රම්පාදන ක්‍රියාවලිය අතරමග නවත්වා තිබුණු ඖෂධ වර්ග 233 ක් සඳහා ටෙන්ඩර් මේ වන විට ලබා දී තිබෙන බවත්, 2025 මෙම වසරේ පළමු මාස 5 තුළ දී රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව ඖෂධ වර්ග 233 ක් සඳහා ප්‍රසම්පාදන ක්‍රියාවලිය අවසන් කර තිබෙන බව ද අමාත්‍යවරයා මෙහි දි වැඩිදුරටත් පැවසී ය.
රජයේ රෝහල් පද්ධතිය තුළ භාවිතා කරන ඖෂධවලින් 65% ක් මෙරටට ආනයනය කරන ඖෂධ වන බවත්, එමෙන් ම 35% ක් ශ්‍රී ලංකාව තුළ නිෂ්පාදනය කරන බවත්, ඖෂධ සැපයීමේ ක්‍රියාවලියට ආරම්භක අවස්ථාවේ සිට ඖෂධ ලබාගෙන බෙදා හැරීම දක්වා මාස 09 ක පමණ දීර්ඝ කාලයක් ගතවන අතිශය සංකීර්ණ කාර්යක් බව ද අමාත්‍යවරයා මෙහි දී සදහන් කළේ ය.
මෙරටට ඖෂධ සැපයීමේ ක්‍රියාවලිය සම්බන්ධව වැඩිදුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා මෙසේ ද පැවසී ය.
“මෙය සංකීර්ණ ක්‍රියාවලියක්. ඒකට යම් කාලයක් ගත වනවා. 2026 ලබන වසර සඳහා රාජ්‍ය ඖෂධ තීතිගත සංස්ථාව මගින් ඖෂධ වර්ග 450 ක් සැපයිය යුතුයි. ඒ 450 න් 435 කට අඳාළ ටෙන්ඩර් කටයුතු මේ වන විටත් ආරම්භ කර තිබෙන්නේ. එයින් 418 කම ප්‍රසම්පාදන ක්‍රියාවලිය දැනටමත් අවසන්. එයින් ඖෂධ වර්ග 325 ක් අවශ්‍ය ඇගයීම් කටයුතු සදහාත් මේ වන විටත් යවා අවසන්.
අප මේ දිනවල ශ්‍රී ලංකාවේ ඖෂධ ක්‍රියාවලිය විධිමත්ව සහ අඛණ්ඩව පවත්වා ගැනීම සඳහා ක්‍රියා මාර්ග රාශියක් ගෙන තිබෙනවා. විශේෂයෙන්ම ඊයේ දිනයේත් මෙරට බටහිර ඖෂධ නිෂ්පාදනය කරන සමාගම් සහ ඖෂධ ආනයනය කරන සමාගම් සමග දීර්ඝ වශයෙන් සාකච්ඡා කළා. අපි ඔවුන්ට මෙම තත්ත්වය පැහැදිලි කළා. ඒ වගේම ඔවුනට ඉලක්කයක් ලබා දුන්නා. යම් කාල සීමාවක් තුළ සැපයිය හැකි සහ නිෂ්පාදනය කළ හැකි ඖෂධ වර්ග මොනව ද කියලා අප වෙත දැනුම් දෙන ලෙස.
එම ඉලක්ක සම්පූර්ණ කිරීමට ඔවුන් අපොහොසත් වුවහොත් සෞඛ්‍ය අමාත්‍යාංශයට සිදු වෙනවා රාජ්‍යයන් සමඟ සාකච්ඡා කර ඖෂධ ගෙන්වීමේ ක්‍රියාවලියක් සකස් කිරීමට. එයයි ගෙවුනු කාල පරිච්ඡේදය තුළ මතු වී තිබෙන ඖෂධ ගැටලුවට රජයක් ලෙස අපට ලබා දිය හැකි සාධාරණතම විසදුම. අපට අවශ්‍ය වන්නේ මෙරට පුරවැසියාට ගුණාත්මක තත්ත්වයෙන් ඉහළ ඖෂධ අඛණ්ඩව සැපයීමට ක්‍රියා කිරීම” යැයි වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා වැඩිදුරටත් පැවසී ය.