ආණ්ඩුව ඖෂධ මිල පාලනය ඉවත් කිරීමට කටයුතු කළහොත් සමගි ජන බලවේගයට ඊට විරුද්ධව වීදි සටන් ආරම්භ කරන බවත්, එමෙන්ම සමගි ජන බලවේග ආණ්ඩුවක් පත් වූ පසු සතියක් ඇතුළත නැවත ඖෂධ සඳහා මිල පාලනයක් ගෙන එන බවත් එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය.
කොළඹ විපක්ෂනායක කාර්යාලයේ අද (20දා) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය.
මේ අතර වර්තමානයේ රජයේ රෝහල්වල ඖෂධ 55ක හිඟයක් පවතින බවත්, එම ඖෂධ 55න් ඖෂධ වර්ග 03න් ජීවිතාරක්ෂක ඖෂධ බවත් සඳහන් කළ රාජිත සේනාරත්න මහතා,
"රජය අලුත් ගැසට් නිවේදනයක් නිකුත් කරලා ඖෂධවල පාලන මිල 29෴න් වැඩි කළා. මේ රටේ මිල පාලනය අද ප්‍රතිපත්තියක් විදියට විතරයි අද තිබෙන්නේ. නමුත් ෆාමසියෙන් ෆාමසියට එකම ඖෂධයේ මිල වෙනස් කරනවා. ඒ ගැන බලන්න කවුරුත් නෑ. මිනිස්සු දරුණු විදියට පීඩනයට ලක් වෙලා තිබෙනවා. මම දැක්කා ඊයේ ජනාධිපතිවරයා අත වනද්දි මිනිස්සු දැන් සැපද කියලා අහලා හූ කියනවා.
මේ රටේ ජනාධිපතිවරයෙකුට මෙහෙම සලකන පළවෙනි වතාව. දැන් රුපියල් 250න් ග්‍රෑම් 400 කිරිපිටි පැකට් එක වැඩි කළා. මේ ගහන්නේ කිරිබොන දරුවන්ට. එදා අපේ ආණ්ඩුව කාලේ සම්පූර්ණ කිරිපිට පැකට් එකක මිල තිබ්බේ රුපියල් 250ට. අද ඒ සම්පූර්ණ මිලෙන් තමයි මිල වැඩි කිරීම් කරන්නේ.
ආහාර වගේම මිනිස්සුන්ට ජීවත් වීමට අවශ්‍ය අනෙකුත් අංගය තමයි ආහාර. ඒ අනුව ඖෂධවල මිල ඉහළ දැමීම මහා අමානුෂික ක්‍රියාවලියක්. ඊටත් වඩා දරුණු තත්ත්වය තමයි ඖෂධ හිඟය. අද රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ ඔසුසල්වලත් ඖෂධ 250ට වඩා හිඟයි. එතුමා කියනවා මේ වෙළෙඳ පොළ තුළ කෘත්‍රිම හිඟයක්ලු ඇති කරලා තිබෙන්නේ.
ඒ කෘත්‍රිම හිඟය ඇති කළේ ඖෂධ ඇමතිද? අද මේ වනවිට 250ක් පමණ ඖෂධ නෑ. ජීවිතාරක්ෂක ඖෂධ නෑ. මේ වනවිට රජයේ රෝහල්වල ඖෂධ 55ක් නෑ. මේ 55න් 3ක් ජීවිතාරක්ෂණ ඖෂධ. තව 37ක් තිබෙනවා අත්‍යවශ්‍ය ඖෂධ. ඒවා නැතිව රෝගීන්ගේ රෝගය පාලනය කර ගන්න බෑ. ඒ වගේම තව ඖෂධ 15ක් තිබෙනවා ඒවා අත්‍යාවශ්‍ය නැති වුණත් බොහෝ රෝගවලට අවශ්‍ය වෙනවා.
මේ ආණ්ඩුව ජනතා ද්‍රෝහී වැඩ කරමින් ලුම්පන් ධනපති පන්තියක් සමග ඉන්නේ. කැසිනෝකාරයෝ මේ රටට ගෙනල්ලා, කුරිරු විදියට එක එක ව්‍යාපාර කරලා, ඒ ව්‍යාපාරිකයන් සමග තමයි රාජපක්ෂවරු අද ඉන්නේ. ඔවුන් පුළුවන් ඕනෑම කැත වැඩක් කරන්න. ඒ නිසා මට සහතිකයක් නෑ ඖෂධවල මිල පාලනය ඉවත් කරනවාද නැද්ද කියලා. අනිත් සියල්ලගේ මිල පාලනය ඉවත් කරලා තිබෙන්නේ.
නමුත් අනෙකුත් භාණ්ඩවල මිල පාලනය ඉවත් කරනවා වගේ නෙවෙයි ඖෂධවලට දාන මිල පාලනය. ඒක කළොත් අපි ඒකට විරුද්ධව වීදි බහිනවා. ඒ විතරක් නෙවෙයි අපේ රජයක් යටතේ අපි පොරොන්දු වෙනවා ජනතාවට සතියක් ඇතුළත නැවත මිල පාලනය ගේනවා කියලා" යනුවෙන් සඳහන් කළේය.